අභිනව නාවික හමුදාධිපති ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් හමුවෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 25 වන නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා අද දින (2022 දෙසැම්බර් 19) ආරක්‍ෂක අමාත්‍යාංශයේදී, ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්, ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) හමුවිය.

ඒ අනුව, හමුදාමය සම්ප්‍රදායන්ට අනුකූලව සිදු කෙ‍රුණු මෙම ප්‍රථම නිල හමුවේදී, ශ්‍රී ලංකා‍ නාවික හමුදාවේ 25 වන නාවික හමුදාධිපති වශයෙන් පත්වීම් සම්බන්ධයෙන් වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා වෙත ආරක්‍ෂක ලේකම් විසින් සිය සුභ පැතුම් පිරිනමන ලදි. අනතුරුව, මෙරට සාගර කළාපය ඔස්සේ සිදු කෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු නීතිවිරෝධි කටයුතු මැඩ පවත්වා, සාගර කළාපයේ සිදු කෙරෙන ආර්ථික කටයුතු ආරක්‍ෂිතව සිදු කිරීමේ ජාතික අභිලාෂය සාක්ෂාත් කර ගැනීම උදෙසා නාවික හමුදාවේ කාර්ය හා කර්තව්‍යය ඉටු කිරීම ඇතුළු වැදගත් කරුණු පිළිබඳ නාවික හමුදාධිපති සහ ආරක්‍ෂක ලේකම් අතර අදහස් හුවමාරුවක් සිදු කෙරිණි.

තවද, නාවික හමුදාධිපති ආරක්‍ෂක ලේකම් හමුවූ මෙම ප්‍රථම නිල හමුව සංකේතවත් කරමින් නාවික හමුදාධිපති සහ ආරක්‍ෂක ලේකම් අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.