සාර්ථක ඒකාබද්ධ නාවික අභ්‍යාසයකින් පසු ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS SAHYADRI’ නෞකාව දිවයිනෙන් පිටත් වෙයි

2022 දෙසැම්බර් මස 13 වන දින නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වූ ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS SAHYADRI’ නෞකාව, ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රමබාහු නෞකාව සමඟ පැවැත් වූ සුහද ඒකාබද්ධ නාවික අභ්‍යාසයකින් (Passage Exercise) අනතුරුව, 2022 දෙසැම්බර් 16 වන දින දිවයිනෙන් පිටත්ව යන ලදී.

ඒ අනුව, ‘INS SAHYADRI’ නෞකාවේ අණදෙන නිලධාරී සහ බටහිර නාවික විධානයේ ආඥාපති අතර නිල හමුවක් 2022 දෙසැම්බර් මස 13 වන දින බටහිර නාවික විධාන මුලස්ථානයේ දී සිදුකෙරුණු අතර, නෞකාව දිවයිනේ රැඳී සිටි කාලසීමාව තුළ එහි කාර්යමණ්ඩලය, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දෙරටේ නාවික හමුදාවන්ගේ සුහදත්වය වර්ධනය කර ගැනීම උදෙසා සංවිධානය කරනු ලැබූ විවිධ වැඩසටහන් සඳහා මෙන්ම, පුත්තලම ගඟේවාඩිය ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණ මූලස්ථානයේ පැවති පුහුණු වැඩසටහනක් සඳහාද සහභාගී විය.

තවද, නිල සංචාරය නිමා කළ ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS SAHYADRI’ නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව සමුදීම කොළඔ වරායේදී 2022 දෙසැම්බර් මස 16 වන දින සිදුකරන ලදි. අනතුරුව ‘INS SAHYADRI’ නෞකාව දිවයිනෙන් පිටත්ව යන අවස්ථාවේදී, ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රමබාහු නෞකාව සමඟ කොළඹ වරායට ඔබ්බෙන් වූ මුහුදේදී, ධජ භාවිතයෙන් නෞකා අතර පණිවුඩ හුවමාරු කිරීම, නෞකා අතර මුහුදේදී භාණ්ඩ හුවමාරු කිරීම සදහා සූදානමින් නෞකා හැසිරවීම, නෞකා වෙත ප්‍රවිෂ්ඨ වීම සහ නෞකා සංග්‍රාමික පෙල හැඩයන් ඔස්සේ ගමන් කිරීම ඇතුළු තවත් නාවික අභ්‍යාස රැසක් සිදු කරන ලදී.

මෙවැනි ඒකාබද්ධ නාවික අභ්‍යාස මඟින් විදේශීය නාවික හමුදාවන් සමඟ අන්තර් ක්‍රියාකාරීත්වය හා සුහදශීලීත්වය වර්ධනය කරගැනීම මෙන්ම ශ්‍රී ලංකා නාවික හමුදා පුද්ගලයන්ගේ කුසලතාවයන් වර්ධනය කිරීම අපේක්‍ෂා කරන අතර, එමඟින් පොදු සමුද්‍රීය අභියෝග ඉදිරියේදී සාමූහිකව ජය ගැනීම සඳහා ද මහත් පිටුවහලක් වනු ඇත.