නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න අද්මිරාල් නිලයට උසස් කෙරේ

අතිගරු ජනාධිපති හා ත්‍රිවිධ හමුදා සේනාධිනායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න අද (2022 දෙසැම්බර් 17) දින සිට ක්‍රියාත්මක වන පරිදි අද්මිරාල් නිලයට උසස් කරන ලදි.

2020 ජුලි මස 15 වන දින වයිස් අද්මිරාල් නිලයට උසස් කරමින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ 24 වන නාවික හමුදාධිපති වශයෙන් රාජකාරී ආරම්භ කරන ලද වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගරු ජනාධිපති හා ත්‍රිවිධ හමුදා සේනාධිනායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් අද (2022 දෙසැම්බර් 17) අද්මිරාල් නිලයට උසස් කිරීමෙන් පසු නාවික හමුදාධිපතිතුමන් හට සම්මාන ආචාර මුරයක් පිරිනමා නාවික හමුදා මූලස්ථානය වෙත පිළිගන්නා ලදි.

1985 වර්ෂයේ 13 වන ශිෂ්‍යභට නිලධාරී බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියෙකු වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවට එක්ව නාවික හමුදාව සහ මව්බිම වෙනුවෙන් අනභිභවනීය සේවයක් ඉටු කළ නාවික හමුදාධිපති අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න වසර 37 කට අධික නාවික හමුදා සේවයෙන් හෙට දින (2022 දෙසැම්බර් 18) විශ්‍රාම යාමට නියමිතය.