නාවික හමුදා නිලධාරීන් 26 දෙනෙකු ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ 16 වන මාණ්ඩලික පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කරයි

සපුගස්කන්ද, ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ මාණ්ඩලික පාඨමාලාව සම්පූර්ණ කල දහසය වන (16) පාඨමාලාවට අයත් නිලධාරීන්ගේ උපාධි ප්‍රදාන උත්සවය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති, රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ, නෙළුම් පොකුණ මහින්ද රාජපක්‍ෂ රඟහලේ දී 2022 දෙසැම්බර් මස 08 වන දින පැවැත්වුණු අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සහභාගී විය.

දහසය වන (16) ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික පාඨමාලාව, 2022 වර්ෂයේ ජනවාරි මස 10 වන දින සපුගස්කන්ද, ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේදී ආරම්භ විය. එම පාඨමාලාව ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරීන් 76 ක්, ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරීන් 26 ක්, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරීන් 25 ක්, බංගලාදේශය, ඉන්දියාව, ඉන්දුනීසියාව, මාලදිවයින, නේපාලය, ඕමානය, පාකිස්ථානය, රුවන්ඩාව, සවුදි අරාබිය, සෙනගල් සහ සැම්බියා යන විදෙස් රාජ්‍යන් නියෝජනය කරමින් යුධ හමුදාවේ නිලධාරීන් 13 ක්, නාවික හමුදා නිලධාරින් 05 ක්, ගුවන් හමුදා නිලධාරින් 04 ක් ඇතුළු සමස්ථ නිලධාරින් 149 දෙනෙකු හදාරණ ලදී.

මෙම උත්සවයේදි මාණ්ඩලික පාඨමාලාව සම්පූර්ණ කර මාණ්ඩලික සුදුසුකම් ලබා ගත් (Passed Staff College- psc) නාවික හමුදා නිලධාරීන් 26 දෙනෙකු සහතික පත් ලබාගත් අතර, පාඨමාලාව සම්පූර්ණ කළ නාවික හමුදා නිලධාරීන් අතරින් සුවිශේෂී කුසලතාවන් දැක්වූ ලුතිනන් කොමාණ්ඩර් (ඉ) කේකේඩීඑම්ඩී කරුණාරත්න ගෝල්ඩන් අවුල් (Golden Owl) කුසලානය හිමිකර ගැනීමට සමත් විය.

තවද, මෙම උත්සව අවස්ථාව සඳහා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක, සාගල රත්නායක මහතා, ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික), ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, යුද හමුදාධිපති, ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ, ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ, ශ්‍රී ලංකා පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතා, කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති මේජර් ජෙනරාල් මිලින්ද පිරීස්, ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ආඥාපති මේජර් ජෙනරාල්, බීකේජීඑම්එල් ‍රොද්‍රිගු, ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ අධ්‍යන හා අනධ්‍යන කාර්ය මණ්ඩලය, 16 වන මාණ්ඩලික පාඨමාලාවට අයත් නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගිවී සිටියහ.