ශ්‍රී ලංකා නාවික හමුදා සංස්කෘතික වාදක අංශයේ නර්තන හා බෙරවාදන ප්‍රසංගය උත්කර්ශවත් අයුරින් පැවැත්වෙයි
ශ්‍රී ලංකා නාවික හමුදා සංස්කෘතික වාදක අංශයේ නාවික පුද්ගලයන් විසින් ඉදිරිපත් කරන ලද විචිත්‍රවත් නර්තන හා බෙර වාදන ප්‍රසංගය නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී, චන්දිමා උළුගේතැන්න මැතිණියගේ සහභාගීත්වයෙන් 2022 නොවැම්බර් මස 29 වන දින කොළඹ 07, රෝයල් මාස් එරීනා රංග ශාලාවේදී උත්කර්ශවත් අයුරින් පැවැත්විණි.
මෙරට ප්‍රවීණ වෘත්තීය කලාකරුවන් දෙපලක් වන චන්දන වික්‍රමසිංහ මහතා සහ රවිබන්දු විද්‍යාපති මහතාගේ මෙහෙයවීමෙන් ශ්‍රී ලංකා නාවික හමුදා සංස්කෘතික වාදක අංශයේ නාවික පුද්ගලයන් වෙනුවෙන්, නර්තන හා බෙරවාදන පුහුණු වැඩසටහනක් පුරා මාස 06 ක කාලයක් පවත්වන ලදි. ඒ අනුව, එම පුහුණු වැඩසටහන සාර්ථකව නිමාවට පත්වීම සනිටුහන් කරමින් එම නාවික පුද්ගලයන්ගේ හැකියාවන් විදහාපාමින් මෙම නර්තන හා බෙරවාදන ප්‍රසංගය පැවැත්වීමට කටයුතු කෙරුණු අතර, විචිත්‍රවත් නර්තන හා බෙරවාදන අංග 11 කින් සමන්විතව පැවැත්වුණු මෙම ප්‍රසංගය, නාවික හමුදා සංස්කෘතික වාදක අංශයේ නාවික පුද්ගලයන් හට මෙන්ම ප්‍රේක්‍ෂකයින් වෙතද නවමු අත්දැකීමක් ගෙනදුන් ප්‍රසංගයක් විය.
මෙම අවස්ථාව සඳහා, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ඇතුළු අධ්‍යක්‍ෂ ජෙනරාල්වරුන්, බටහිර නාවික විධානයේ ආඥාපති ඇතුළු විධාන ආඥාපතිවරුන්, නාවික හමුදා සේවා වනිතා ඒකකයේ විධායක කමිටු සාමාජිකාවන්, විශ්‍රාමික නාවික හමුදා ජ්‍යේෂ්ඨ නිලධාරීන්, ධජ නිලධාරීන්, නාවික හමුදා තූර්යය වාදක කණ්ඩායමේ ජ්‍යේෂ්ඨ සම්බන්ධීකාරක කපිතාන් ප්‍රදීප් ඩෝසන්, වැඩ බලන අධ්‍යක්‍ෂ සංගීත, කපිතාන් අතුල දයාකීර්ති ඇතුළු, නාවික හමුදා මූලස්ථානයට සහ බටහිර නාවික විධානයට අනියුක්ත ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් සහ නාවිකයන් පිරිසක් සහභාගීවී සිටියහ.