නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් අනුර ඒකනායක නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි
රියර් අද්මිරාල් අනුර ඒකනායක සිය වසර 35 කට අධික නාවික හමුදා සේවය නිමා කරමින් අද (2022 ඔක්තෝබර් 12) දින විශ්‍රාම යන ලදී.
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ප්රමුඛ නාවික හමුදා කළමණාකරන මණ්ඩලය විසින් අද දිනට 55 වන උපන්දිනය යෙදී ඇති රියර් අද්මිරාල් අනුර ඒකනායක වෙත උපන් දින සුභපැතුම් එක් කිරීමෙන් අනතුරුව, නාවික හමුදා සම්ප්‍රදායානුකූලව විශේෂ සම්මාන මුරයක් මගින් ඔහු වෙත උත්තමාචාරය පුද කෙරිණි. සහෘද නිලධාරීන් විසින් සමුදීමෙන් පසු නාවික හමුදා මූලස්ථානයේ සිට, නාවික රථ පෙළපාලියකින් පිටව යන මොහොතේ ජ්‍යේෂ්ඨ සහ කණිෂ්ඨ නාවිකයින් එම ජ්‍යේෂ්ඨ නිලධාරියා හට සුභාශිංසන පිරිනමන ලදි.
1987 වර්ෂයේදී 16 වන ශිෂ්‍යභට නිලධාරී බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියෙකු වශයෙන් නාවික හමුදා සේවයට එක්ව ඇති රියර් අද්මිරාල් අනුර ඒකනායක, සිය සේවා කාලය තුළ ශ්‍රී ලංකා නාවික හමුදාවේ වේග ප්‍රහාරක මුර යාත්‍රාවන්හි අණභාර නිලධාරී ලෙස සහ ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා හා ආයතනයන්හී අණදෙන නිලධාරී වශයෙන් රාජකාරී සිදු කොට ඇත. තවද ඔහු, නියෝජ්‍ය අධ්යක්ෂ නාවික මෙහෙයුම් හා ජ්‍යේෂ්ඨ ගුවන් ආරක්ෂක සම්බන්ධීකාරක, නාවික හා සාගරික විද්‍යාපීඨයේ පුහුණු කපිතාන්, කොමදෝරු මුහුදු පුහුණු, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හමුදා සම්බන්ධීකාරක, ගිණිකොන නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති, නාවික පරීක්ෂණ ඒකකයේ අධ්‍යක්ෂක, අධ්යක්ෂ නාවික ප්‍රතිපත්ති හා සැලසුම්, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ 6 වන අධ්යක්ෂ ජෙනරාල් සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී වැනි ප්රමුඛ නිලතල දරා ඇති කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.