ශ්‍රී ලංකා නාවික නෞකා ශික්ෂා ආයතනයේ අධ්‍යයන කටයුතු සඳහා අවශ්‍ය යටිතල පහසුකම් පුළුල් කෙරේ
ශ්‍රී ලංකා නාවික හමුදාවේ ආධුනික පුහුණු මධ්‍යස්ථානයන්හි අධ්‍යයන කටයුතු සඳහා අවශ්‍ය යටිතල පහසුකම් පුළුල් කිරීමේ වැඩපිළිවෙලට අනුව, පූනෑව ශ්‍රී ලංකා නාවික නෞකා ශික්ෂා ආයතනයේ ඉදිකරන ලද තෙමහල් අධ්‍යයන ගොඩනැගිල්ල විවෘත කිරීම අද දින (2022 ඔක්තෝබර් 07) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
ශ්‍රී ලංකා නාවික නෞකා ශික්ෂා ආයතනය, නාවික හමුදාවේ ආධුනික නාවිකයින්ගේ පුහුණු කටයුතු සහ නාවිකයන්ගේ උසස් පාඨමාලා සිදු කරනු ලබන ප්‍රධාන පුහුණු ආයතනයක් වන අතර, එමඟින් වාර්ෂිකව ආධුනික නාවිකයින් දෙදහසකට ආසන්න ප්‍රමාණයක් මූලික ආධුනික පුහුණුවෙන් පසු නාවික හමුදා නැව් මුළුවට එක් වීම සිදු වේ. මෙම පුහුණු ආයතනයේ පුහුණු කටයුතු කාර්යක්ෂමව සිදු කිරීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් පුළුල් කිරීම වෙනුවෙන් මෙම තෙමහල් අධ්‍යයන ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු 2015 වර්ෂයේ ආරම්භ කරන ලද අතර, එහි දෙවන මහලෙහි ඉදීකිරීම් 2018 වර්ෂයේ ආරම්භ කෙරිණි.
ඒ අනුව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ උපදෙස් හා මඟපෙන්වීම මත නාවික හමුදා තාක්ෂණික හා ශීල්පීය දායකත්වයෙන් මෙම තෙමහල් අධ්‍යයන ගොඩනැගිල්ලෙහි ඉදි කිරීම් කටයුතු සම්පූර්ණයෙන් අවසන් කර මෙලෙස විවෘත කිරීම අද දින (2022 ඔක්තෝබර් 07) නාවික හමුදාධිපතිගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණු අතර, එමඟින් පුළුල් වන යටිතල පහසුකම් මඟින් ඉදිරියේදී ශික්ෂා ආයතනයේ පුහුණු කටයුතු වඩාත් කාර්යක්ෂමව සහ ඵලදායී ලෙස සිදු කිරීමට හැකියාව ලැබෙනු ඇත.
තවද, මෙම විවෘත කිරීමේ අවස්ථාව සඳහා සහභාගී වූ නාවික හමුදාධිපති, එම අවස්ථාව සනිටුහන් කරමින් ශ්‍රී ලංකා නාවික නෞකා ශික්ෂා ආයතන පරිශ්‍රයේ පැළයක් රෝපණය කිරීමට කටයුතු කළ අතර, එම ආයතනයේ අභිනවයෙන් ඉදිකරන ලද බැඩ්මින්ටන් ක්‍රීඩාගාරය නිරීක්ෂණය කිරීම සඳහාද එහිදී නාවික හමුදාධිපති සහභාගී විය.
මෙම අවස්ථාව සඳහා, උතුරු මැද නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක, ශ්‍රී ලංකා නාවික නෞකා ශික්ෂා ආයතනයේ ආඥාපති සහ අණදෙන නිලධාරි කපිතාන් අරුණ වීරසිංහ ඇතුළු උතුරු මැද නාවික විධානයේ සහ ශ්‍රී ලංකා නාවික නෞකා ශික්ෂා ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගිවී සිටියහ.