ශ්‍රී ලංකා සේවාමුක්ත භට සංගමයේ 78 වන සංවත්සරය සඳහා නාවික හමුදාධිපති සහභාගී වේ

ශ්‍රී ලංකා සේවාමුක්ත භට සංගමයේ 78 වන සංවත්සර දින සැමරුම 2022 සැප්තැම්බර් මස 04 වන දින ආරක්‍ෂක ලේකම් ජෙනරල් (විශ්‍රාමික) කමල් ගුණරත්න ගේ ප්‍රධානත්වයෙන්, අත්තිඩිය ඊගල්ස් ලේක්සයිඩ් සම්මන්ත්‍රණ ශාලාවේදී අභිමානවත් අයුරින් පැවැත්වුනු අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සහභාගී විය.

1944 දී පිහිටුවන ලද ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය, අනුබද්ධ සන්නද්ධ හමුදා සංගම් 48 ක ත්‍රිවිධ හමුදා සාමාජිකයින් 45,000 කට අධික සංඛ්‍යාවක් සාමාජිකත්වය දරණ ප්‍රධාන සංගමයක් වේ. ඒ අනුව, 2022 සැප්තැම්බර් 04 වන දිනට යෙදී තිබුනු එම සංගමයේ 78 වන සංවත්සර සැමරුම් උත්සවයේදී ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ ආරක්‍ෂක ලේකම් තුමා විසින් රට වෙනුවෙන් දිවි පිදූ සහ විශ්‍රාමික සියළුම රණවිරුවන් මහත් අභිමානයෙන් යුතුව සිහිපත් කරන ලදී.

තවද, ආරක්‍ෂක ලේකම් තුමා විසින් ශ්‍රී ලංකා සේවාමුක්ත භට සංගමයේ සාමාජිකයින් කිහිප දෙනෙකු වෙත ගෞරවාන්විත සේවා පදක්කම ප්‍රදානය කල අතර, නාවික හමුදාධිපති එහිදී විශ්‍රාමික සාමාජිකයින් කිහිපදෙනෙකු වෙත යාවජීව සාමාජිකත්වය පිරිනැමීමට එක් විය.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති, ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ, හිටපු ත්‍රිවිධ හමුදාපතිවරුන්, ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධීකරණ නිලධාරී මේජර් ජෙනරල් දිනේෂ් නානායක්කාර, ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ මහලේකම් ලුතිනන් කර්නල්(විශ්‍රාමික) අජිත් සියඹලාපිටිය, ශ්‍රී ලංකා කාන්තා සේවා මුක්ත භට සංගමයේ සාමාජිකාවන් සහ සම්භාවනීය ආරාධිතයින් පිරිසක් සහභාගී වී සිටියහ.