නව නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා නාවික හමුදාධිපති හමුවෙයි
සන්නද්ධ හමුදා සේනාධිනායක සහ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ලෙස 2022 ජූලි මස 09 වන දින සිට පත් කෙරුණු රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා වෙත අද (2022 ජූලි 12) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් එම පත්වීමේ ලිපිය නිල වශයෙන් ප්රදානය කර ඔහු වෙත සිය සුභපැතුම් පිරිනැමීමට කටයුතු කෙරිණි.
රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා කොළඹ රාජකීය විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයෙකි. ඔහු 1987 වර්ෂයේ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ 05 වන බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියෙකු වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ විධායක අංශයට එක් විය. කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයෙන් සහ නාවික හා සාගරික විද්‍යාපීඨයෙන් මූලික පුහුණුව සාර්ථක ලෙස අවසන් කර 1989 වර්ෂයේ උප ලුතිනන් වරයෙකු වශයෙන් අධිකාරියට පත් වන ඔහු, සිය උප ලුතිනන් තාක්ෂණික පාඨමාළාව 1992 වර්ෂයේ නාවික හා සාගරික විද්‍යාපීඨයෙන් සාර්ථකව හදාරා, කිමිදුම් නිෂ්කාශනය සම්බන්ධ විශේෂඥතාව 1994 දී ඉන්දීය නාවික හමුදා කිමිදුම් පාසල වෙතින් ලබා ඇත. එතැන් සිට ක්රමාණුකූලව උසස් වීම් ලබමින් 2020 වර්ෂයේ ජූලි මස 15 දින ඔහු රියර් අද්මිරාල් නිලයට උසස් වී ඇත.
සිය සේවා කාලය තුළ ශ්‍රී ලංකා නාවික හමුදාවේ විවිධ නිළතල රාශියක් දරා ඇති ඔහු, වේග ප්‍රහාරක මුර යාත්‍රාවන්හි අණභාර නිලධාරී ලෙස සහ ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා හා ආයතනයන්හී මෙන්ම විශේෂ යාත්‍රා බලඝණයේ අණදෙන නිලධාරී වශයෙන් රාජකාරී සිදු කොට ඇත. තවද, ඔහු අධ්යක්ෂ නාවික පුහුණු, නාවික හමුදා පර්යේෂණ ඒකකයේ ප්‍රධානී, උතුරු මැද නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති, අධ්යක්ෂ නාවික විශේෂ බලකා, අධ්යක්ෂ නාවික මෙහෙයුම්, අධ්යක්ෂ නාවික විදේශීය සහයෝගීතා, අධ්යක්ෂ නාවික සමුද්‍රීය ආවේක්ෂණ, දකුණු නාවික විධානයේ ආඥාපති සහ උතුරු නාවික විධානයේ ආඥාපති වශයෙන් රාජකාරී සිදු කර ඇත. එමෙන්ම, රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී විමට පෙර නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී වශයෙන්ද කටයුතු කල කිර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.
ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයෙන් ආරක්ෂක හා උපයමාර්ගික අධ්‍යනය පිලිබඳ ශාස්ත්‍රපති උපාධිය ලබා ඇති රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, 2004 වර්ෂයේදී ඇමරිකා එක්සත් ජනපදයේ රෝඩ් අයිලන්ඩ් හි පිහිටි නාවික සංග්‍රාමික විද්‍යාලයේ නාවික මාණ්ඩලික පාසලෙන් අණ හා මාණ්ඩලික පාඨමාලාව හදාරා ඇත. තවද, ඔහු 2012 වර්ෂයේදී ඔස්ට්‍රේලියාවේ වොලොන්ග්ගොන්ග් විශ්ව විද්‍යාලයෙන් සමුද්‍රීය ප්‍රතිපත්ති සම්බන්ධ ශාස්ත්‍රපති උපාධිය ලබා ඇති අතර, 2018 වර්ෂයේදී චීනයේ ජාතික ආරක්ෂක විද්‍යාලයෙන් ආරක්ෂක සහ උපාය මාර්ගික අධ්‍යයනය පිළිබඳ පාඨමාලාව හදාරා ඇත.
තිස් වසරකට ආසන්න කාලයක් මෙරට වෙලා පැවති ත්‍රස්තවාදය පිටුදැකීමේ මෙහෙයුම් සඳහා සක්‍රීයව දායකවී සතුරාට එරෙහිව සිදුකල නිර්භීත ක්‍රියා වෙනුවෙන් රණ සූර පදක්කම තෙවතාවක් ද, අගනා සේවය නොකැළැල් චරිතය සහ රාජකාරියට කැපවීම වෙනුවෙන් උත්තම සේවා පදක්කමෙන්ද පිදුම් ලද රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා වෙත, ඔහුගේ දක්ෂතාවය කැපවීම සහ ආදර්ශමත් කාර්ය සාධනය ඇගයීම වෙනුවෙන් නාවික හමුදාධිපති විසින් අවස්ථා හතකදී (07) ප්රශංසාත්මක ලිපි ප්රදානය කර ඇත.
රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, කොමාණ්ඩර් මාලා ලමාහේවා සමඟ විවාහ වී සිටින අතර, ඔවුන් දෙපලට සචිත් (24) සහ ෂමාල් (21) යන පුතුන් දෙදෙනෙකු සිටී.