රණවිරු සැමරුම් දිනය නිමිත්තෙන් රණක්ෂිතයට පත් නාවික රණවිරුවන් වෙත නාවික හමුදාධිපතිගෙන් උපහාර
රණවිරු සැමරුම් දිනය නිමිත්තෙන් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න වැලිසර නාවික රණවිරු රැකවරණ මධ්‍යස්ථානයේ (Anchorage Naval Care Center) නේවාසිකව සිටින නාවික රණවිරුවන් හමු වී ඔවුන් වෙත උපහාර පිරිනමන ලද අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී චන්දිමා උළුගේතැන්න මැතිණිය ද සහභාගී විය.
මව්බිමේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාවය සුරැකීම උදෙසා දශක තුනකට ආසන්න කාලයක් මෙරට වෙලා පැවති ත්‍රස්තවාදය මෙරටින් මුලිනුපුටා දැමීම වෙනුවෙන් සිදුකළ මානුෂීය මෙහෙයුමේදි විරෝධාර නාවික හමුදා රණවිරුවන් 1160 දෙනෙකු ජීවිත පරිත්‍යාග කර ඇති අතර, 517 දෙනෙකු රණක්ෂිතයට පත්ව ඇත.
ඒ අනුව, රණවිරු සැමරුම් දිනය නිමිත්තෙන් වැලිසර නාවික රණවිරු රැකවරණ මධ්‍යස්ථානයේ නේවාසිකව සිටින වීරෝධාර නාවික රණවිරුවන්ගේ සුවදුක් විමසා ඔවුන්ව දිරිමත් කළ නාවික හමුදාධිපති, එහිදී එම රණවිරුවන්ගේ සුභසාධනය වෙනුවෙන් නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් ලබා දුන් ත්‍යාග එම රණවිරුවන් වෙත පිරිනැමීමද නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපති තුමිය හා එක්ව සිදු කෙරිණි.
තවද, මෙම අවස්ථාව සඳහා නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ බටහිර නාවික විධානයේ ආඥාපති ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙන්ම නාවික හමුදා සේවා වනිතා ඒකකයේ විධායක කමිටු සාමාජිකාවන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.