74 වන නිදහස් දින සැමරුම් උළෙල සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව මහත් අභිමානයෙන් යුතුව සහභාගී වේ

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති සහ සන්නද්ධ හමුදා සේනාධිනායක, ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් “අභියෝග ජයගත් ඉසුරුමත් හෙට දිනක් - සෞභාග්‍යමත් මව්බිමක්” යන තේමාව පෙරදැරි කර ගනිමින් කොළඹ නිදහස් චතුරශ්‍රයේදී අද ‍(2022 පෙබරවාරි 04) පෙරවරුවේ පැවති 74 වන නිදහස් සැමරුම් උළෙල සඳහා නාවික හමුදාව මහත් අභිමානයෙන් යුතුව සහභාගී විය.

අතිගරු ජනාධිපතිතුමන් විසින් ජාතික ධජය එසවීමත් සමග ජාතික දින සැමරුම් උළෙල ආරම්භ කෙරිණි. එම අවස්ථාව සඳහා සම්ප්‍රදායානුකූලව ජාතික කොඩිය සූදානම් කිරීම නාවික හමුදාවේ සංඥා අංශය විසින් සිදුකරන ලද අතර, ජාතික ගීය ගායනයේදී සහ 74 වන නිදහස් දිනයට ආශිර්වාද පතා ජයමගල ගාථා ගායනයේදී සංගීතය සැපයීම නාවික හමුදා පෙරදිග තූර්ය වාදක කණ්ඩායම විසින් සිදු කරන ලදි.

සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා ජාතිය අමතා කළ කතාවෙන් අනතුරුව ඇරඹි, 74 වන නිදහස් සමරු උළෙලේ ආචාර පෙළපාලිය සඳහා නාවික හමුදා නිලධාරීන් 61ක් සහ නාවිකයින් 1029 දෙනෙකුගෙන් යුත් අංශ අටක් (08) සහ නාවික හමුදාවේ ප්‍රධාන අවි සහ තාක්‍ෂණික උපාංගයන් ප්‍රදර්ශනය කෙරෙන රථ පෙළකින් යුතුව සහභාගී වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් කොමදෝරු ඩේමියන් ප්‍රනාන්දු සමස්ථ ආචාර පෙළපාලියේ පෙර ගමන් රථයේ ගමන් කරන ලදි.

ලුතිනන් කමාණ්ඩර් හර්ෂ වීරක්කොඩි විසින් නාවික හමුදා ධජය පෙරටු කර ගනිමින්, නාවික හමුදා සමූහ තූර්ය වාදක කණ්ඩායමේ රණ හඩ මධ්‍යයේ, නාවික හමුදාව, නාවික හමුදා බලඝන, විධාන සහ ආයතනයන් වෙත පිරිනමන ලද ජනාධිපති වර්ණ ධජ හයක් සහ, නාවික විධානයන්ට අයත් විධාන ධජ රැගත් නිලධාරීන් සමගින් ගමන් ගත් මෙම අභිමානවත් ආචාර පෙළපාලිය සඳහා කමාණ්ඩර් ගයාන් වික්‍රමසූරිය විසින් අණදීම සිදු කරන ලදි.

ශ්‍රී ලංකාවේ ගොඩබිම මෙන් හත් ගුණයක් විශාල, ශ්‍රී ලංකාවට අයත් සාගර කළාපයේ සියළුම නීති විරෝධී කටයුතු මැඩපවත්වා ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා දායක වන, වෙරළ කළාපයේ නිරන්තර නිරීක්‍ෂණ කටයුතු සිදුකරමින් ආරක්‍ෂක රාජකාරි සිදුකිරීමට දායක වන සහ ශ්‍රී ලංකාවට අයත් සෙවීම් සහ මුදවා ගැනීම් කලාපය තුල ආපදාවට පත්වන ධීවර සහ නාවික ප්‍රජාවට සහන සැළසීම සඳහා දායකවන ශ්‍රී ලංකා නාවික හමුදාවේ සියළු අංශයන් නියෝජනය කරමින් සැදුම්ලත් බලඝන සහ අංශයන් 74 වන නිදහස් උළෙලේ නාවික හමුදාවේ අභිමානය පිළිඹිබු කිරීම සඳහා දායක විය.

නාවික හමුදා ආචාර පෙළපාලියේ ප්‍රථම බලඝනය ලෙස ගමන්ගත් නාවික හමුදා මූලස්ථාන බලඝණය සඳහා ලුතිනන් කොමාණ්ඩර් ටිරෝන් ප්‍රනාන්දු විසින් අණදීම සිදුකල අතර, සාගර කළාපයේ ආරක්‍ෂාව වෙනුවෙන් කැපවූ, ජනාධිපති වර්ණයෙන් පිදුම් ලද නාවික දියත් විධානයේ බලඝණය සඳහා ලුතිනන් කමාණ්ඩර් සනෝජ් රෝද්‍රිගු විසින් අණදීම සිදු කෙරිණි.

ලොව අසමමිතික සාගරික සංග්‍රාම ක්‍ෂේත්‍රයේ ශ්‍රීලාංකේය සන්නාමය ලෙස සැළකෙන, වත්මන් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, 17 වන අණදෙන නිලධාරී ලෙස මෙහෙයවූ, 'පහරදීම පළමුව - පහරදීම ප්‍රභලව' යන්න තේමා පාඨය කරගත්, සාගරික ත්‍රස්තවාදය මැඩපැවැත්වීම සඳහා 1988 වර්ෂයේදී ස්ථාපිත කල, ත්‍රස්තවාදී මරාගෙන මැරෙන යාත්‍රා අභියෝගය අතික්‍රමණය කල, ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානය, ජනාධිපති වර්ණයෙන් පිදුම් ලද හතරවන වේග ප්‍රහාරක යාත්‍රා බලඝණය, ලුතිනන් කමාන්ඩර් චන්දන කුමාර ගේ අණදීම යටතේ පෙළපාලියේ ගමන් කරන ලදී.

තවද, ‘විකුමතියට භාග්‍ය ප්‍රසාදිනිය වේ’ යන තේමාව රැගත්, 1993 වර්ෂයේ ස්ථාපිත නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණය සඳහා පෙළපාලියේ අණදීම ලුතිනන් කමාණ්ඩර් අනුර ගුණතිලක විසින් සිදු කරන ලදි.

එමෙන්ම ‘අනන්තයට එහා දිවෙන විජයග්‍රහණයක් කරා’ යන තේමා පාඨය රැගත් නොගැඹුරු මුහුදු කලාපයේ ආරක්‍ෂාව සඳහා කැපවූ 2007 වර්ෂයේ ස්ථාපිත ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණය සඳහා පෙළපාලියේ අණදීම ලුතිනන් කමාණ්ඩර් දුමින්ද දයානන්ද විසින් සිදුකල අතර, “ශක්තියෙන් නිර්භීතව ජයග්‍රහණය කරා” යන තේමාව රැගත් මහ සයුරෙන් සතුරු භූමිය වෙත භට පිරිස් ඇතුල් කිරීමේ විශේෂ හැකියාවක් ඇති 2016 වර්ෂයේ ස්ථාපිත නාවික හමුදා මැරින් බලඝණය සඳහා පෙළපාලියේ අණදීම ලුතිනන් කොමාණ්ඩර් ලසිත් චාමර විසින් සිදු කෙරිණි. තවද, ශ්‍රීලංකා නාවික හමුදාවේ සියලුම අංශයන් නියෝජනය කරනු ලබන කාන්තා නාවික අංශය සඳහා ලුතිනන් කමාණ්ඩර් තෙරංගා කොඩිසිංහ විසින් ආචාර පෙළපාලියේ අණදීම සිදු කෙරිණි.

රියර් අද්මිරාල් අනුර ඒකනායක අධ්‍යක්ෂක ජනරාල් ධූරය දරණ, සමුද්‍රීය සහ ධීවර ක්ෂේත්‍රයේ නීතිය හා සාමය පසිඳලමින් සමුද්‍රීය පරිසරය සුරැකීම වෙනුවෙන් 2010 වර්ෂයේ ස්ථාපිත කළ, ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව මෙවර ප්‍රථම වරට නිදහස් දින ආචාර පෙළපාලියට එක් වූ අතර, ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තු බලඝණයට ලුතිනන් කමාණ්ඩර් යොහාන් ගුණරත්න විසින් අණදීම සිදු කරන ලදී.

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ප්‍රධාන අවි සහ තාක්ෂණික උපාංග ප්‍රදර්ශනය කෙරෙන රථ පෙළපාලිය භාර නිලධාරී ලෙස කමාණ්ඩර් රංග චින්තක පෙරගමන් රථයේ ගමන් කල අතර, රථ පෙළපාලිය මඟින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රධාන අවි සහ නාවික හමුදාව විසින් නිශ්පාදනය කරනු ලබන කුඩා යාත්‍රා ප්‍රදර්ශනය කෙරිණි. එමෙන්ම, ශ්‍රී ලංකා නාවික හමුදාවේ කිමිදුම් අංශයේ කිමිදුම් උපාංග ප්‍රදර්ශනය කෙරෙන රථයක් මෙන්ම නාවික හමුදා විශේෂ මෙහෙයුම් සඳහා යොදා ගන්නා යාත්‍රාවන්ද මෙම රථ පෙළපාලියේ ප්‍රදර්ශනය කෙරිණි.

තවද, මෙම නිදහස් සැමරුම් උළෙල සඳහා අති පූජනීය ගරුතර මහාසංඝරත්නය ප්‍රමුඛ සෙසු පූජා ප්‍රසාදීන් වහන්සේලා, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමන්, හිටපු ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්, වාරිමාර්ග අමාත්‍ය සහ රාජ්‍ය ආරක්ෂක, වාරිමාර්ග අමාත්‍ය රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යතුමන්, මැති ඇමති වරුන්, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ. බස්නාහිර පලාත් අණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක, ආරක්‍ෂක ලේකම් ජෙනරල් (විශ්‍රාමික) කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති, ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චන්දිමා උළුගේතැන්න මැතිණිය, ගුවන් හමුදාධිපති, එයාර් මාර්ෂල් සුදර්ශණ පතිරණ, පොලිස්පති චන්දන වික්‍රමරත්න, රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් රාජ්‍ය නිලධාරීන්, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ඇතුළු නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සම්භාවනීය අමුත්තන් පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සහභාගී වී සිටියහ.