ඓතිහාසික දීඝවාපිය ස්තූපයෙහි තැන්පත් කිරීමට නියමිත ධාතුන් වහන්සේලා වැඩම කරවීමේ පුණ්‍යමහෝත්සවයට නාවික හමුදාධිපති සහභාගී වෙයි

ඓතිහාසික දීඝවාපිය ස්ථූප පරිශ්‍රයේ මෑතකදී සිදුකළ කැණීම්වලදී සොයාගන්නා ලද සර්වඥ ධාතුන් වහන්සේලා මහා සංඝරත්නයේ බෞද්ධාගමික ආශිර්වාද මධ්‍යයේ දීඝවාපිය විහාරස්ථාන පරිශ්‍රයේ විශේෂයෙන් ඉදිකරන ලද “ධාතු මන්දිරය” තුළ තැන්පත්කිරීමේ පුණ්‍යමහෝත්සවය, ආරක්ෂක ලේකම් හා නැගෙනහිර පළාතේ ‘පුරාවිද්‍යා උරුම කළමනාකරණය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ’ සභාපති ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න ගේ ප්‍රධානත්වයෙන් 2022 ජනවාරි මස 17 වන දුරුතු පුන් පොහෝ දින උදෑසන බෞද්ධ ආගමික වතාවත් මධ්‍යයේ දීඝවාපී විහාර පරිශ්‍රයේදී සිදුකෙරුණු අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සහභාගී විය.

ඓතිහාසික දීඝවාපිය පුදබිම, ගෞතම බුදුරජානන් වහන්සේ වැඩමවා වදාල සොළොස්මස්ථාන අතුරින් එක් පුදබිමක් ලෙස සැළකේ. මෙම ඓතිහාසික බෞද්ධ උරුමය ප්‍රතිසංරක්‍ෂණය කර මතු පරපුර වෙත දායාද කර දීමේ අරමුණින් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ උපදෙස් මත මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කෙරිණි. ඒ අනුව, ආරක්ෂක ලේකම් හා නැගෙනහිර පළාතේ ‘පුරාවිද්‍යා උරුම කළමනාකරණය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ’ සභාපති ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න ගේ මඟපෙන්වීමෙන් ත්‍රිවිධ හමුදාවේ සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ විශේෂඥයින්ගේ තාක්ෂණික දායකත්වයෙන් ඓතිහාසික දීඝවාපී පුදබිමේ ප්‍රථිසංස්කරණ කටයුතු ක්‍රියාත්මක කෙරේ.

ඒ අනුව, අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ තැන්පත් කර තිබූ, දීඝවාපී ස්ථූප පරිශ්‍රයේ සිදුකළ කැනීම් කටයුතු මඟින් සොයා ගන්නා ලද ධාතූන් වහන්සේලා 2022 ජනවාරි මස 17 වන දුරුතු පුන් පොහෝ දින උදෑසන බෞද්ධ ආගමික වතාවත් මධ්‍යයේ විචිත්‍රවත් ආගමික පෙරහැරක් මඟින් දීඝවාපී පුදබිම වෙත වැඩම කර දීඝවාපිය විහාරස්ථාන පරිශ්‍රයේ විශේෂයෙන් ඉදිකරන ලද “ධාතු මන්දිරය” තුළ තැන්පත් කිරීම මෙලෙස සිදු කෙරිණි.

තවද, එහිදී ආරක්‍ෂක ලේකම් සහ ත්‍රිවිධ හමුදාපතිවරුන් විසින් ඓතිහාසික දීඝවාපිය පුදබිමේ ඉදිකිරීමට යෝජිත බුද්ධ මන්දිරය සඳහා මුල්ගල් තැබීම ද ආගමික වතාවත් මධ්‍යයේ සිදු කරන ලදී.

මෙම පුණ්‍යමහෝත්සවය සඳහා දීඝවාපිය විහාරස්ථානාධිපති පූජ්‍ය මහඔය සෝභිත හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය, අමාත්‍යාංශ ලේකම්වරුන්, ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාධිපති, ගුවන් හමුදාධිපති, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ බැතිමතුන් පිරිසක් සහභාගිවී සිටියහ.

තවද, ආරක්ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න 2022 ජනවාරි මස 16 වන දින අම්පාර, පොතුවිල් ඓතිහාසික මුහුදු මහා විහාරය වැදපුදා ගනිමින් ආශිර්වාද ලබා ගැනීමට කටයුතු කල අතර, එම අවස්ථාව සඳහා ද නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න එක්විය.