රියර් අද්මිරාල් නිශාන්ත සමරසිංහ නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි
රියර් අද්මිරාල් නිශාන්ත සමරසිංහ සිය වසර 34 කට අධික නාවික සේවය නිමා කරමින් අද (2021 අප්‍රේල් 12) දින විශ්‍රාම යන ලදී.
නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ප්රමුඛ නාවික හමුදා කළමණාකරන මණ්ඩලය විසින් අද දිනට 55 වන උපන්දිනය යෙදී ඇති රියර් අද්මිරාල් නිශාන්ත සමරසිංහ වෙත උපන් දින සුභපැතුම් එක් කිරීමෙන් අනතුරුව, නාවික හමුදා සම්ප්‍රදායානුකූලව විශේෂ සම්මාන මුරයක් මගින් ඔහු වෙත උත්තමාචාරය පුද කෙරිණි. සහෘද නිලධාරීන් විසින් ඔහු වෙත සමුදීමෙන් පසු නාවික රථ පෙළපාලියකින් නාවික හමුදා මූලස්ථානයේ සිට, පිටව යන මොහොතේ ජ්‍යේෂ්ඨ සහ කනිෂ්ඨ නාවිකයින් එම ජ්‍යේෂ්ඨ නිලධාරියා හට සුභාශිංසන පිරිනමන ලදි.
1986 වර්ෂයේදී 14 වන ශිෂ්‍යභට නිලධාරී බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියෙකු වශයෙන් නාවික හමුදා සේවයට එක්ව ඇති රියර් අද්මිරාල් නිශාන්ත සමරසිංහ තම සේවා කාලය තුළ අධ්යක්ෂ නාවික විදුලි හා විද්‍යුත් ඉංජිනේරු (බලශක්ති සහ උපයෝගීතා), අධ්යක්ෂ නාවික විදුලි හා විද්‍යුත් ඉංජිනේරු (පද්ධති), කොමදෝරු විදුලි හා විද්‍යුත් ඉංජිනේරු දෙපාර්තමේන්තුව (බටහිර), අධ්යක්ෂ නාවික විදුලි හා විද්‍යුත් ඉංජිනේරු (දියත්, අවි හා විද්‍යුත්) සහ අධ්යක්ෂ ජෙනරාල් විදුලි හා විද්‍යුත් ඉංජිනේරු ආදී ප්රමුඛ නිල තල දරමින් කටයුතු කළ කීර්තිමත් ජ්‍යේෂ්ඨ නිලධාරියෙකි.