ගංවතුර ආපදාවට පෙර සුදානමක් ලෙස තවදුරටත් ගාල්ල, වක්වැල්ල පාලම තුල සිරවී තිබූ අපද්‍රව්‍ය ඉවත් කිරීමට නාවික හමුදාව කටයුතු කරයි
ගිං ගඟෙහි සැඩ ජල පහරට හසුව ගසාගෙනවිත් ගාල්ල, වක්වැල්ල පාලම තුල සිරවී තිබූ දැව කඳන් සහ අපද්‍රව්‍ය ඉවත් කර ජලය නිසි පරිදි බැස යාමට සැලැස්වීමෙන් එම ප්‍රදේශයට ඉදිරියේදී ඇති විය හැකි ගංවතුර අවධානම මැඩ පැවැත්වීමට 2020 මැයි මස 21 වන දිනයේදීද නාවික හමුදාව කටයුතු කරන ලදී.
මේ දින වල ශ්‍රී ලංකාවට බලපා ඇති අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් ගිං ගඟෙහි ජල මට්ටම ඉහළ ගොස් ඇති අතර, ඒ අනුව ගිං ගගෙහි සැඩ ජල පහරට හසුව ගසාගෙන එනු ලබන විශාල උණ පඳුරු, දැව කඳන් හා අපද්‍රව්‍ය ගාල්ල, වක්වැල්ල පාලම අසල සිරවීම හේතුවෙන්, ඇතිවිය හැකි ගංවතුර අවධානම් තත්වයට පෙර සූදානමක් වශයෙන් එම පාලම තුල සිරවී තිබු විශාල උණ පඳුරු, දැව කඳන් හා අපද්‍රව්‍ය ඉවත් කිරීම සිදු කරන ලදි. දකුණු නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් කස්සප පෝල්ගේ උපදෙස් මත ක්‍රියාත්මක කරන ලද මෙම මෙහෙයුම සඳහා දකුණු නාවික විධානයට අනුයුක්ත කිමිදුම් අංශයේ නාවිකයින්ගෙන් සමන්විත කණ්ඩායමක් අනුයුක්ත කරන ලද අතර, මහත් පරිශ්‍රමයක් යොදා එම අපද්‍රව්‍ය ඉවත්කර ජලය බාධාවකින් තොරව ගලා යාමට සැලැස්වීමට කටයුතු කරන ලදි
තවද, මේ වන විටත් ගංවතුර අවධානම පවතින ප්‍රදේශයන් ආවරණය වන පරිදි නාවික හමුදා සහන සැළසීමේ හා මුදවා ගැනීමේ කණ්ඩායම් හදිසි අවස්ථාවකදී ක්ෂණිකව ක්‍රියාත්මක වීම සඳහා ස්ථානගත කර සිටින අතර, එම කණ්ඩායම් නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ, මුදවා ගැනීමේ සහ සහන සැළසීමේ ඒකකයයේ (4RU) සහ විශේෂ යාත්‍රා බලඝණයේ නාවිකයින්ගෙන් සමන්විත වේ..