නීති විරෝධී දැල් භාවිතා කරමින් ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් 06ක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 මැයි 02 වන දින මුන්දම්පිඩ්ඩි, පෙරියආරු ප්‍රදේශයට ඔබ්බෙන්වූ මුහුදු තීරයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධි දැල් භාවිතා කරමින් ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් 06ක් සහ ධීවර යාත්‍රා දෙකක් (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

තහනම් ධීවර ක්‍රම භාවිතා කරමින් සිදුකරනු ලබන නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තරව කටයුතු කරනු ලබන අතර, ඒ අනුව උතුරුමැද නාවික විධානයේ වෙරළ ආරක්‍ෂක මුර රාජකාරීන්හි නිරතව සිටි නාවික පුද්ගලයින් පිරිසක් විසින් මුන්දම්පිඩ්ඩි, පෙරියආරු ප්‍රදේශයට ඔබ්බෙන්වූ මුහුදු තීරයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී දැල් භාවිතා කරමින් ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් 06ක්, තහනම් දැල් දෙකක් (02), ධීවර යාත්‍රා (වල්ලම්) දෙකක් (02) සහ එම යාත්‍රා සඳහා භාවිතා කල පිටත දහන යන්ත්‍ර දෙකක් (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

මෙලෙස නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් වයස අවුරුදු 20ත් 32ත් අතර වයසේ පසුවන මන්නාරම, පල්ලෙමුණේ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට තහවුරු කරගෙන ඇති අතර, නාවික හමුදා භාරයට ගන්නා ලද එම පුද්ගලයින්, තහනම් දැල්, ධීවර යාත්‍රා සහ පිටත දහන යන්ත්‍ර සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා ඉලුප්පුකඩවායි පොලිසිය වෙත භාර දීමට කටයුතු කරන ලදි.