නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීමේ කටයුතු වල නිරතවූ පුද්ගලයින් 06ක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 අප්‍රේල් 13 වන දින ත්‍රිකුණාමලය, සල්පෙයාරු මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී මසුන් ඇල්ලීමේ කටයුතු වල නිරතවූ පුද්ගලයින් 06 දෙනෙකු සිය භාරයට ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකාවට අයත් සාගර කලාපයේ සාගර සහ මත්ස්‍ය සම්පත සුරක්‍ෂිත කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව ආරක්‍ෂක මුර සංචාරයන් නිරන්තරයෙන් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අනුව නැගෙනහිර නාවික විධානයට අයත් මුර යාත්‍රාවක් මගින් 2020 අප්‍රේල් 13 වන දින ත්‍රිකුණාමලය, සල්පෙයාරු මුහුදු ප්‍රදේශයේ සිදු කල මුර සංචාරයකදී සැක සහිත යාත්‍රාවක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කිරීමේදී කිමිදුම් කටයුතු සිදු කරමින් නීති විරෝධී ලෙස මසුන් අල්ලමින් සිටි පුද්ගලයින් 06 දෙනෙකු සමඟ කිමිදුම් උපකරණ කිහිපයක් සොයාගැනීමට සමත් විය. එහිදී එම පුද්ගලයින්, කිමිදුම් උපකරණ , ධීවර යාත්‍රාව සහ එම යාත්‍රාව තුල තිබූ අනෙකුත් ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

මෙලෙස නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් වයස අවුරුදු 24 ත් 44 ත් අතර වයසේ පසුවන ත්‍රිකුණාමලය, පොඩුවකට්ටු ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගත් අතර, එම පුද්ගලයින්, ඩිංගි යාත්‍රාව, කිමිදුම් උපකරණ සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා කුච්චවේලි ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාරදීමට කටයුතු කරන ලදි.