කඩොලාන ශාක කැපු පුද්ගලයින් හය දෙනෙකු (06) නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 අප්‍රේල් 11 වන දින මන්නාරම, මුන්දලම්පිඩ්ඩි කළපු ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී කඩොලාන ශාක කපමින් සිටි පුද්ගලයින් හය දෙනෙකු (06) නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සාගරයේ ආරක්‍ෂාව මෙන්ම සාගරික පරිසර පද්ධතිය හා මත්ස්‍ය සම්පත සුරක්‍ෂිත කිරීම වෙනුවෙන් නිරන්තරයෙන් තම දායකත්වය ලබා දෙනු ලබයි. ඒ අනුව උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් මන්නාරම, මුන්දලම්පිඩ්ඩි ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයකදී කඩොලාන ශාක කපමින් සිටි පුද්ගලයින් හය දෙනෙක් (06) නාවික හමුදා භාරයට ගන්නා ලදි. එහිදී ඔවුන් සතුව තිබූ කපන ලද කඩොලාන ශාක කොටස් කිහිපයක් මෙන්ම ශාක කැපීමට යොදා ගන්නා ලද පිහි 03 ක්, ධීවර යාත්‍රාවක් සහ කිමිදුම් උපකරණ කිහිපයක්ද නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි. මෙලෙස නාවික හමුදා භාරයට ගන්නා ලද පුද්ගලයින් වයස අවුරුදු 26ත් 31ත් අතර වයස් වල පසුවන මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගන්නා ලද අතර, එම පුද්ගලයින්, කඩොලාන ශාක, ධීවර යාත්‍රාව සහ අනෙකුත් උපකරණ සම්බන්ධයෙන් ඉදිරි විමර්ෂණ කටයුතු සිදු කිරීම සඳහා ඉලුප්පයිකඩ්ඩවායි පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදි.

වෙරළ ඛාදනය වැලැක්වීම සඳහා බෙහෙවින් උපකාරිවන මෙම කඩොලාන ශාක පද්ධතිය විනාශ කිරීම සඳහා ඉතා සුළු පිරිසක් කටයුතු කරනු ලබන අතර, එවැනි විනාශකාරි ක්‍රියාවන් වැලැක්වීම සඳහා නාවික හමුදාව නිරන්තරයෙන් කටයුතු කරනු ලබයි. එමෙන්ම නාවික හමුදාව විසින් කඩොලාන පැල සිටුවිමේ ව්‍යාපෘති රැසක් දිවයිනේ කලපු හා කඩොලාන පරිසර පද්ධතීන් ඇති ප්‍රදේශයන්හි ඉතා සාර්ථකව ක්‍රියාත්මක කර ඇති අතර, විශේෂයෙන් උතුරු, උතුරු මැද, වයඹ සහ ගිණිකොන නාවික ප්‍රදේශ ආශ්‍රිතව මෙම වැඩසටහන සක්‍රීයව මේවන විට ක්‍රියාත්මක වෙමින් පවති. එහි මුලික අරමුණ වන්නේ ශ්‍රී ලංකාවට අයත් වෙරළ තීරය ආරක්‍ෂා කොට සංරක්‍ෂණය කිරීමයි.