නිධානයක් හාරමින් සිටි පුද්ගලයින් පිරිසක් නාවික හමුදා භාරයට.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2020 අප්‍රේල් 08 වන දින පුත්තලම එතලයි එරඹුකුඩැල්ල ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී නිධානයක් හාරමින් සිටි පුද්ගලයින් 06 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

රට තුල පවතින ඇඳිරි නීති වතාවරණය තුල සූක්‍ෂම අයුරින් සිදු කරනු ලබන ජවාරමි කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර සෝදිසි මෙහෙයුම් දියත් කරමින් සිටි. 2020 අප්‍රේල් 08 වන දින වයඹ නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් විසින් පුත්තලම එතලයි එරඹුකුඩැල්ල ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් දියත් කර ඇති අතර එහිදී නිධානයක් හාරමින් සිටි පුද්ගලයින් 06 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය. මෙහිදී ලොරි රථයක් ඇතුළු නිදන් හෑරීම සඳහා යොදාගත් අනෙකුත් උපකරණ රැසක්ද නාවික හමුදා බාරයට ගැනීමට කටයුතු කරන ලදි.

මෙලෙස නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් එතලයි සහ නොරොච්චෝලේ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 38ත් 55ත් අතර වයස්වල පසුවන පුද්ගලයින් වන අතර මෙම පුද්ගලයින්, ලොරි රථය සහ අනෙකුත් නිදන් හෑරීමට යොදා ගත් උපකරණ සම්බන්දයෙන් ඉදිරි විමර්ෂණ කටයුතු සිදු කිරීම සඳහා කල්පිටිය පොලීසිය වෙත භාරදීමට කටයුතු කරන ලදි.