ගාල්ල ධීවර වරාය තුල ඇති වූ හදිසි ගින්නක් නිවා දැමීමට නාවික හමුදා සහාය

ගාල්ල ධීවර වරායේ අලුත්වැඩියා කටයුතු සිදු කරමින් තිබූ බහුදින ධීවර යාත්‍රාවක හටගත් හදිසි ගින්නක් මැඩපැවැත්වීමට නාවික හමුදාව හා ගාල්ල ගිණිනිවීමේ ඒකකය එක්ව 2020 අප්‍රේල් 08 වන දින කටයුතු කරන ලදි.

ඒ අනුව, ගාල්ල ධීවර වරායේ අලුත්වැඩියා කටයුතු සිදුකරමින් තිබූ බහුදින ධීවර යාත්‍රාවක් ගිනි ගන්නා බවට දකුණු නාවික විධානයේ මෙහෙයුම් මැදිරියට ලද තොරතුරකට අනුව ගිනි නිවීමේ කණ්ඩායමක් කඩිනමින් එම ස්ථානය වෙත යැවීමට කටයුතු කරන ලදී. ඒ සඳහා දකුණු නාවික විධාන ගිනි නිවීමේ ඒකකය මගින් ජල බවුසර් 02 ක් ඇතුළුව නාවික පුද්ගලයින් පිරිසක් අනුයුක්ත කරන ලද අතර, ගාල්ල ගිණිනිවීමේ ඒකකය හා එක්ව මහත් පරිශ්‍රමයක් දරා ගින්න අනෙකුත් ධීවර යාත්‍රා පුරා ව්‍යාප්ත වීමට ඉඩ නොදී සම්පූර්ණයෙන් නිවා දැමීම‍ට කටයුතු කරන ලදී.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බැවින් වැඩිදුර පරීක්‍ෂණ ගාල්ල වරාය පොලිසිය මගින් සිදුකරනු ලබයි. තවද, රට තුල ඇතිවන හදිසි තත්වයකදී පෙරමුණ ගෙන කටයුතු කරන ලබන ශ්‍රී ලංකා නාවික හමුදාව, ඉදිරියේදී ද මහජනතාව හට සිදුවන ඕනෑම ව්‍යසනයකදී උපකාර කිරීමට සුදානමින් සිටි.