කාකතිව් දූපතට ඔබ්බෙන් වූ මුහුදේදී නාවික හමුදාව විසින් කේරළ ගංජා සොයා ගනී.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද (2020 අප්‍රේල් 08) මන්නාරම, කාකතිව් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයකදී තෙත බර සහිත කේරළ ගංජා කිලෝ 01 ග්‍රෑම් 400 ක පමණ ප්‍රමාණයක් සොයා ගෙන ඇත.

කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සිය දායකත්වය නිරන්තරයෙන් ලබා දෙන අතරම දිවයින වටා සාගරයේ ආරක්‍ෂාව සුරක්‍ෂිත කිරීම වෙනුවෙන්ද තම වගකීම ඉටු කරමින් සිටී. ඒ අනුව අද (2020 අප්‍රේල් 08) උතුරු මැද නාවික විධානයේ නාවික පුද්ගලයින් පිරිසක් විසින් සිදු කරනු ලැබූ මුර සංචාරයක් අතර තුරදී මුහුදේ පාවෙමින් තිබූ පාර්සලයක් නිරීක්‍ෂණය කර එය වැඩි දුර පරීක්‍ෂා කිරීමේදී එහි තිබී තෙත බර සහිත කේරළ ගංජා කිලෝ 01 ග්‍රෑම් 400 ක පමණ ප්‍රමාණයක් සොයා ගැනීමට සමත් වී ඇත.

ජාවාරම්කරුවන් විසින් මුහුදු මාර්ගයෙන් මත්ද්‍රව්‍ය මෙරටට ගෙන ඒම සදහා සිදුකරන සැළසුම් ව්‍යර්ථ කිරීම සඳහා නාවික හමුදාව අඛණ්ඩව මෙහෙයුම් සිදු කිරීම හේතුවෙන් මෙම කේරළ ගංජා තොගය මුහුදේ අතහැර දමා යන්නට ඇතැයි සැක කරනු ලබන අතර, නාවික හමුදා භාරයට ගන්නා ලද කේරළ ගංජා ප්‍රමාණය වැඩිදුර විමර්ෂණ කටයුතු සඳහා ජයපුරම් පොලිසිය වෙත භාරදීමට කටයුතු කරන ලදි.