කාර්මික දෝෂයකට ලක්වු රුවල් යාත්‍රාවකට නාවික හමුදාවෙන් උපකාර.

දකුණු මුහුදු තීරය හරහා ගමන් කරමින් තිබූ විදේශීය රුවල් යාත්‍රාවක් කාර්මික දෝෂයකට ලක්ව ගාල්ල මුහුද ආසන්නයේ නැංගුරම්ලා තිබියදී යාත්‍රාවේ සිටි යුවලක් වෙත අවශ්‍ය ආහාර හා පානීය ජලය ලබාදීමට නාවික හමුදාව 2020 අප්‍රේල් 07 වන දින කටයුතු කරන ලදි.

ශ්‍රී ලංකාව තුල කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම හේතුවෙන් ඇඳරි නීති තත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අවස්ථාවක දකුණු මුහුදු ප්‍රදේශයේදී කාර්මික දෝෂයකට ලක්ව ගාල්ල මුහුද ආසන්නයේ නැංගුරම්ලා තිබූ යාත්‍රාවක සිටි විදේශ යුවලක් විසින් සිදු කල ඉල්ලීමකට අනුව එම යාත්‍රාව වෙත අවශ්‍ය ආහාර පාන හා පානීය ජලය ලබාදීම 2020 අප්‍රේල් 07 වන දින සිදු කරන ලදි. ඇදිරි නීති තත්වය මත ඔවුන්ගේ ආහාර පාන හා පානීය ජල පහසුකම් සපයා ගැනීමට නොහැකිව සිටි මෙම යුවල විසින් ඒ සම්බන්ධයෙන් නාවික හමුදාව වෙත සිදු කල දැනුම්දීමකට අනුව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ උපදෙස් මත දකුණු විධාන ආඥාපති රියර් අද්මිරාල් කස්සප පෝල්ගේ මගපෙන්වීම යටතේ වෙරළබඩ මුර යාත්‍රාවක් විසින් සියළු ආරක්‍ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් මෙම විදේශීය රුවල් යාත්‍රාව වෙත ආහාර ද්‍රව්‍ය සහ පානීය ජලය ලබා දීමට කටයුතු කරන ලදි.

ආහාර පාන නොමැතිව ඉතා අසරණව සිටි මෙම යුවල වෙත උපකාර කිරීමට ඉදිරිපත් වීම සම්බන්දයෙන් එම යුවල විසින් නාවික හමුදාව වෙත සිය කෘතවේදීත්වය මෙහිදී පල කර සිටින ලදි.