නාවික හමුදාව විසින් තවත් විෂබීජහරණ වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කරයි

‘නව කොරෝනා’ වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන විෂබීජහරණ වැඩසටහන් කිහිපයක් 2020 අප්‍රේල් 06 වන දින සහ 07 වන දින කරෙයිතිව් ප්‍රදේශය සහ කොළඹ, විශ්‍රාම වැටුප් දෙපාර්ථමේන්තුව යන ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට කටයුතු කරන ලදි.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ උපදෙස් මත නාවික හමුදා රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යෂ්ටික (Chemical, Biological, Radiological and Nuclear) හදිසි ප්‍රතිචාර දැක්වීම පිළිබඳ ඒකකය විසින් මෙම විෂබීජහරණ වැඩසටහන් පැවැත්වීමට කටයුතු කරන ලද අතර, යාපනය, කරෙයිතිව් ප්‍රදේශයේ කොරෝනා වෛරසය ආසාධිත පුද්ගලයෙකු සැරිසැරූ ස්ථාන කිහිපයක් කයිට්ස්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිගේ ඉල්ලීමක් අනුව නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා උතුරු නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් කපිල සමරවීරගේ උපදෙස් මත විෂබීජහරණයට ලක් කරන ලදි. එසේම මෙම වෛසරය ව්‍යාප්තවීම වැළැක්වීමේ අරමුණින් කොළඹ, විශ්‍රාම වැටුප් දෙපාර්ථමේන්තුවෙහිද සියළුම ස්ථානයන් ආවරණය වන පරිදි ක්‍රමවත්ව විෂබීජහරණය සිදු කිරීමට කටයුතු කරන ලදි.

තවද, ඉදිරියේදීද වෛරසය ව්‍යාප්ත වීම වැලැක්වීම සඳහා මහජනතාව ගැවසෙන පොදු ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් විෂබීජහරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නාවික හමුදාව කටයුතු කරමින් සිටී.