ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය සංගමයේ සිව්වැනි (04) වාර්ෂික ශාස්ත්‍රිය සැසිය සාර්ථකව නිමාවට පත්වේ

ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය සංගමයේ සිව්වැනි (04) වාර්ෂික ශාස්ත්‍රිය සැසිය 2020 මාර්තු 13 වන දින දෙහිවල, අත්තිඩිය, ඊගල්ස් ලේක් සයිඩ් උත්සව සහ සම්මන්ත්‍රණ ශාලාවේදී ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම්, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්නගේ ප්‍රදානත්වයෙන් පැවැත්විණි.

යුධ, නාවික සහ ගුවන් හමුදා වෛද්‍යවරුන් සහ දන්ත වෛද්‍යවරුන් 400ක පමණ පිරිසකගේ එකමුතුවෙන් 2016 වර්ෂයේදී ස්ථාපිත කරන ලද ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය සංගමය සිය සිව්වැනි (04) වාර්ෂික ශාස්ත්‍රිය සැසිය 2020 මාර්තු 13 වන දින දෙහිවල, අත්තිඩිය, ඊගල්ස් ලේක් සයිඩ් උත්සව සහ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට කටයුතු කරන ලදි. ‘හමුදා වෛද්‍ය සේවා සැපයීමෙන් විශිෂ්ඨත්වය කරා’ යන තේමාවෙන් යුතුව පවත්වන ලද මෙම සැසිවාරය සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ හිටපු සභාපති වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය, වැඩ බලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා, ගුවන් හමුදාධිපති එයාර් මාෂල් සුමංගල ඩයස්, ජ්‍යේෂ්ඨ රාජ්‍ය නිලධාරින්, විශ්‍රාමික ත්‍රිවිධ හමුදා නිලධාරීන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් සහ ත්‍රිවිධ හමුදා වෛද්‍ය නිලධාරින් රැසක් ද සහභාගිවී සිටින ලදි.

මෙම සැසියේ පිළිගැනීමේ සහ සභාපතිගේ කථාව ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය සංගමයේ සභාපති නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් සෞඛ්‍ය සේවා, වෛද්‍ය රියර් අද්මිරාල් සේනරූප ජයවර්ධන විසින් සිදු කල අතර, එහිදී ත්‍රිවිධ හමුදාවන් සඳහා වෛද්‍ය සේවාවේ වැදගත්කම මෙන්ම ත්‍රිවිධ හමුදාවට මෙන්ම රටට මෙම සංගමය මගින් සිදු කරනු ලබන සේවය සම්බන්දව අවධාරණය කරන ලදි.

තවද, මෙම සැසියේ ප්‍රධාන දේශණය අන්තර්ජාතික හමුදා වෛද්‍ය කමිටුවේ සභාපති, බෙල්ජියානු මේජර් ජෙනරාල් (විශ්‍රාමික) වෛද්‍ය ග්ර්ට් ලයර් (Geert Laire) විසින් සිදු කල අතර, සැසියේ ගෞරවනීය ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ හිටපු සභාපතිනිය විසින් ශ්‍රී ලංකාවේ වෛද්‍ය ක්ෂේත්‍රයේ හමුදා මැදිහත්වීම සම්බන්ධයෙන් පැහැදිලි කරන ලදි. ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම්, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න විසින් ඔහුගේ යුධ අත්දැකීම් වලට අනුව යුධ පිටියේ මෙහෙයුම් වලදී හමුදා වෛද්‍ය සේවයේ වැදගත්කම සම්බන්දයෙන් සැසිය සඳහා සහභාගීවී සිටි පිරිස ආමන්ත්‍රණය කරන ලදි.

හමුදා වෛද්‍ය ක්‍ෂේත්‍රය තුළ තවදුරටත් සේවය කරමින් අනාගතයේ විශිෂ්ඨත්වයට පත්වීම ප්‍රධාන අරමුණ කරගත් ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය සංගමයේ සිව්වැනි (04) වාර්ෂික ශාස්ත්‍රිය සැසියේ ස්තූති කථාව ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය සංගමයේ ලේකම් නාවික හමුදා වෛද්‍ය ලුතිනන් කොමාණ්ඩර් හිමාලි ධර්මවීර විසින් සිදු කරන ලදි.