බීඩි කොළ කිලෝ 92කට අධික ප්‍රමාණයක් සහ මත් පෙති නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 පෙබරවාරි 05 වන දින ගාල්ල ප්‍රදීපාගාරයට මුහුදු සැතපුම් 120ක් පමණ ඈත මුහුදේ සිදු කළ මුර සංචාරයක් අතරතුර අවස්ථා දෙකකදී බීඩිකොළ කිලෝග්‍රෑම් 92කට අධික ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගැනීමට සමත්ව ඇත.

නාවික හමුදාව විසින් දේශීය මුහුදු තීරය තුල සිදු කරනු ලබන මත්ද්‍රව්‍ය ජාවාරම් කටයුතු මැඩලීම සඳහා නිරන්තර සෝදිසි කිරීම් සිදු කරනු ලබන අතර, ඒ අනුව 2020 පෙබරවාරි මස 05 වන දින ගාල්ල ප්‍රදීපාගාරයට මුහුදු සැතපුම් 110ක පමණ දුරකදී මුර සංචාරයේ යෙදී සිටි නෞකාවක් මගින් සැක සහිත පාර්සල් කිහිපයක් මුහුදේ පාවෙමින් තිබෙනු නීරීක්‍ෂණය කර එම පාර්සල් වැඩිදුර පරීක්‍ෂා කිරීමේදී එම පාර්සල් තුල තිබී තෙත සහිත බීඩි කොළ කිලෝ 40කට අධික ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගෙන ඇත.

තවද 2020 පෙබරවාරි 05 වන දින එම ප්‍රදේශයට ආසන්නව සිදු කල තවත් සෝදිසි මෙහෙයුමකදී සැක සහිත යාත්‍රාවක් පරීක්‍ෂා කර ඒ තුල තිබී බීඩි කොළ කිලෝ 52කට අධික ප්‍රමාණයක් සහ සැකකරුවන් 06ක්, ඔවුන් සතුව තිබූ තහනම් මත්පෙති 20 ක පමණ ප්‍රමාණයක්ද නාවික හමුදා භාරයට ගැනීමට හැකි විය. මෙලෙස නාවික හමුදා භාරයට ගන්නා ලද සැකකරුවන් වයස අවුරුදු 20ත් 42ත් අතර වයසේ පසුවන බේරුවල සහ මොණරාගල ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හදුනා ගෙන ඇති අතර, නාවික හමුදා භාරයට ගන්නා ලද බීඩිකොල තොගය, යාත්‍රාව, සැකකරුවන් සහ මත්පෙති සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියා මාර්ග ගැනීම සඳහා ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව හරහා වත්තල පොලිසිය වෙත භාර දීමට කටයුතු කර ඇත.