හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා සහයෙන් නීතියේ රැහැනට

නාවික හමුදාව සහ පොලීසිය එක්ව 2020 පෙබරවාරි 06 වන දින සෙට්ටිකුලම් මැණික් ෆාම් ප්‍රදේශයේදී හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත.

මත්ද්‍රව්‍ය ව්‍යසනය මෙරටින් තුරන් කිරීමේ අරමුණින් යුතුව කටයුතු කරනු ලබන ශ්‍රී ලංකා නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් ජාවාරම්කරුවන් විශාල පිරිසක් නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කර ඇත. ඒ අනුව, නාවික හමුදාව, සෙට්ටිකුලම පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව ක්‍රියාත්මක කල තවත් මෙහෙයුමක් සෙට්ටිකුලම් මැණික් ෆාම් ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් පැවැති අතර, එහිදී යතුරු පැදියක ගමන්ගත් සැක කටයුතු පුද්ගලයින් දෙදෙනෙකු (02) නිරීක්‍ෂණය කර, ඔවුන් පරීක්‍ෂාවට ලක් කිරීමේදී ඔවුන් සතුව තිබී ග්‍රෑම් 01 මිලි ග්‍රෑම් 08 කට අධික හෙරොයින් ප්‍රමාණයක් සොයාගෙන ඇති අතර, ඒ අනුව එම පුද්ගලයින් දෙදෙනා (02) සහ ඔවුන් පැමිණි යතුරු පැදිය අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදි.

අත්අඩංගුවට පත් සැකකරුවන් එම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 19ත් 20 අතර පසුවන්නන් බවට හඳුනාගෙන ඇති අතර, එම සැකකරුවන්, හෙරොයින් ප්‍රමාණය සහ යතුරු පැදිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු සෙට්ටිකුලම්, පොලීසිය මගින් සිදු කරනු ලබයි.