ග්ලයිෆොසේට් අඩංගු රසායනික ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට
නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2020 ජනවාරි 08 වන දින තඹුත්තේගම නගරයේදී සිදු කළ වැටලීමකදී ග්ලයිෆොසේට් අඩංගු රසායනික ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු (03) අත්අඩංගුවට ගෙන ඇත.
නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම වෙනුවෙන් නාවික හමුදාව විසින් සිය සක්‍රීය දායකත්වය නිරන්තරයෙන් ලබා දෙන අතර, එහිදී සෙට්ටිකුලම්, පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව තඹුත්තේගම නගරයේදී සිදු කළ වැටලීමකදී නීති විරෝධී ග්ලයිෆොසේට් අඩංගු රසායනික ද්‍රව්‍ය පැකට් 219 ක් (කිලෝග්‍රෑම් 21.9) සහ මොන්සාන් රසායනික ද්‍රව්‍ය පැකට් 250 ක් (කිලෝග්‍රෑම් 22.5) සොයා ගැනීමට සමත්ව ඇත. මෙම රසායනික ද්‍රව්‍ය තොගය වෙළඳසැල් තුනක් (03) ක් තුල අලෙවි කිරීම සඳහා සුදානම් කර තිබියදී මෙලෙස සොයා ගෙන ඇති අතර, එහිදී එම වෙළදසැල් හිමිකරුවන් තිදෙනා ද (03) අත්අඩංගුවට ගෙන ඇත.
අත් අඩංගුවට ගත් පුද්ගලයින් වයස අවුරුදු 40, 49 සහ 63 වන වියෙහි පසුවන එම ප්‍රදේශයේම පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇති අතර, එම පුද්ගලයින් සහ නීති විරෝධී රසායනික ද්‍රව්‍ය තොගය ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා අනුරාධපුර, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වෙත භාර දීමට කටයුතු කෙරිණි.