විකිණිමට සුදානම් කර තිබූ ගෝන මස් තොගයක් සමග පුද්ගලයෙකු නීතියේ රැහැනට හසුකර දීමට නාවික හමුදා සහාය

නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 ජනවාරි 08 වන දින අක්කරෙයිපත්තු ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී විකිණිමට සුදානම් කර තිබූ ගෝන මස් තොගයක් සමඟ පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන ඇත.

නීති විරෝධී ක්‍රියාවන් වල නිරත පුද්ගලයින් නීතියේ රැහැනට හසුකර දීම වෙනුවෙන් නාවික හමුදාව ක්‍රියාත්මක කරගෙන යනු ලබන තවත් මෙහෙයුමක් අක්කරෙයිපත්තු ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කල අතර, එහිදී විකිණිමට සුදානම් කර තිබූ ගෝන මස් කිලෝග්‍රෑම් 12 ක් සොයා ගැනීමට සමත්ව ඇත. තවද, මෙම නීති විරෝධී ක්‍රියාවේ නිරතව සිටි පුද්ගලයෙකු ද මෙහිදී අත් අඩංගුවට ගෙන ඇති අතර, ඔහු වයස අවුරුදු 26 ක් වන අක්කරෙයිපත්තු, අලිගම්බෙයි ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හදුනාගෙන ඇත.

එම සැකකරු සහ ගෝන මස් තොගය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු අක්කරෙයිපත්තු පොලිසිය විසින් සිදු කරනු ලබන අතර, මෙරට පරිසර පද්ධතිය සුන්දර කරනු ලබන මෙවැනි සත්වයින් ඝාතනය කරමින්, සුළු පිරිසක් විසින් සිදු කරනු ලබනු මෙවැනි නීති විරෝධී ක්‍රියාවන් මැඩපැවැත්වීමට ද නාවික හමුදාව නිරන්තර අවධානය යොමු කර ඇත.