නීති විරෝධී ලෙස ඇල්ලූ මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 340 ක් සමඟ පුද්ගලයින් 11 දෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් ත්‍රිකුණාමලය, නල්ලූර් වෙරළ තීරයේ සහ මන්නාරම, වංකාලේ ප්‍රදේශයේ සිදු කල සෝදිසි කිරීම් අතරතුරදී බලපත්‍ර රහිතව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සහ ප්‍රවාහනය කල පුද්ගලයින් පිරිසක් නාවික හමුදා බාරයට ගැනීමට සමත්ව ඇත.

ඒ අනුව, නැගෙනහිර නාවික විධානය විසින් 2019 ඔක්තෝබර් 21 වන දින ත්‍රිකුණාමලය, නල්ලූර් වෙරළ තීරයේ සිදු කළ සෝදිසි කිරීමක් අතරතුරදී නීති විරෝධි ලෙස වලංගු බලපත්‍ර නොමැතිව ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 10 දෙනෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත. එම පුද්ගලයින් වයස අවුරුදු 23 ත් 41 ත් අතර වයස්වල පසුවන නිලාවේලි ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හදුනාගෙන ඇති අතර, එහිදී ධීවර කටයුතු සඳහා යොදා ගත් ඩිංගි යාත්‍රා 03 ක්, පිටත දහන යන්ත්‍ර 03 ක්, නීති විරෝධි ලෙස අල්ලන ලද මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 300 ක්, පොකිරිස්සන් කිලෝග්‍රෑම් 02 ක්, මසුන් කිලෝග්‍රෑම් 03 ක් නාවික හමුදා බාරයට ගෙන ඇත.

නාවික හමුදා බාරයට ගත් පුද්ගලයින්, ධිවර යාත්‍රා, පිටත දහන යන්ත්‍ර, මුහුදු කූඩැල්ලන්, පොකිරිස්සන්, මසුන් තොගය සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි විමර්ශන කටයුතු සඳහා ත්‍රිකුණාමලය, සහකාර ධීවර අධ්‍යක්‍ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදී.

තවද මන්නාරම, වංකාලේ කතෝලික දේවස්ථානය අසල උතුරු මැද නාවික විධානය විසින් යොදා ඇති මාර්ග බාධකයේදී සැක කටයුතු ත්‍රිරෝද රථයක් නාවික හමුදාව නිරික්‍ෂණය කර එම ත්‍රිරෝද රථය පරික්‍ෂාවට ලක් කිරීමේදී එහි තුල තිබී මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 40 ක් නාවික හමුදාව සොයා ගෙන ඇති අතර, මෙම මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කිරීම සඳහා බලපත්‍රයක් මෙම පුද්ගලයා සතුව නොමැතිවීම හේතුවෙන් මෙම සැකකරු නාවික හමුදා බාරයට ගෙන ඇත.

එම සැකකරු අවුරුදු 53 ක් වන මන්නාරම, නානට්ටාන් ‍ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇත. නාවික හමුදා බාරයට ගත් සැකකරු, මුහුදු කූඩැල්ලන් තොගය සහ ත්‍රිරෝද රථය වැඩිදුර විමර්ෂණ කටයුතු සඳහා මන්නාරම, සහකාර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.