තහනම් දැල් භාවිතා කර මසුන් ඇල්ලූ පුද්ගලයින් 06 දෙනෙකු නාවික හමුදා බාරයට
නාවික හමුදාව කල්ලඩි වෙරළ තීරයේ සහ ත්රිකුණාමලය, පල්චෙනයි වෙරළ තීරයේ සිදු කල සෝදිසි කිරීම්වලදී නීති විරෝධී දැල් භාවිතා කර මසුන් ඇල්ලු පුද්ගලයින් 06 දෙනෙකු නාවික හමුදා බාරයට ගෙන නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කර ඇත.
ඒ අනුව, නැගෙනහිර නාවික විධානය සහ මඩකලපුව, සහකාර ධිවර අධ්යක්ෂක කාර්යාලය එක්ව 2019 ඔක්තෝබර් 19 වන දින මඩකලපුව, කල්ලඩි වෙරළ තීරයේ සිදු කළ මුර සංචාරයක් අතරතුරදී නීති විරෝධි දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයෙකු (01) නාවික හමුදා බාරයට ගෙන ඇත. එම පුද්ගලයා වයස අවුරුදු 55 ක් වන සිලමුනේයි ප්රදේශයේ පදිංචිකරුවෙකු බව හදුනාගෙන ඇති අතර, එහිදී ධීවර කටයුතු සඳහා යොදා ගත් ලියාපදිංචි නොකල කුඩා යාත්රාවක් සහ තහනම් දැල් 12 ක් නාවික හමුදා බාරයට ගෙන ඇත.
තවද, එම විධානය විසින්ම පල්චෙනයි වෙරළ තීරයේ සිදු කල සෝදිසි කිරීමකදී තහනම් දැල් භාවිතා කර ධිවර කටයුතුවල නිරත වූ තවත් පුද්ගලයින් 05 දෙනෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත. එහිදී ධීවර යාත්රා 02 ක්, පිටත දහන යන්ත්ර 02 ක්, නීති විරෝධී ලෙස ඇල්ලූ මසුන් කිලෝග්රෑම් 300 ක් සහ තහනම් දැලක් නාවික හමුදා බාරයට ගෙන ඇත. එමෙන්ම, මෙම මසුන් මිලදී ගැනීම සඳහා ලොරි රථයකින් සහ කැබ් රථයකින් පැමිණ සිටි ගනුදෙනුකරුවන් තිදෙනෙකු (03) ද නාවික හමුදා බාරයට ගැනීමට නාවික හමුදාව කටයුතු කර ඇත.
නාවික හමුදා බාරයට ගත් පුද්ගලයින්, ධිවර යාත්රා, තහනම් දැල්, ලොරි රථය, කැබ් රථය සහ අනෙකුත් ධීවර ආම්පන්න සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු මඩකලපුව, සහකාර ධීවර අධ්යක්ෂක විසින් සිදු කරනු ලබයි.
මෙවැනි නීති විරෝධී ක්රම භාවිතා කර මසුන් ඇල්ලීම තුලින් සාගර සම්පත් විශාල වශයෙන් විනාශයට පත්වන අතර, එබැවින් ශ්රී ලංකාවට අයත් සාගර කලාපය තුල ඇති සාගර සම්පත් සුරක්ෂිත කිරීම සඳහා නාවික හමුදාව කටයුතු කරනු ලබයි. තවද, මෙවැනි නීති විරෝධී ක්රියාවන් මැඩපැවැත්විම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටි.