සාර්ථක සංචාරයකින් පසු ශ්‍රී ලංකා නාවික නෞකා ‘සයුර’ සහ ‘නන්දිමිත්‍ර’ ‍ත්‍රිකුණාමලය වරායට සේන්දු වෙයි

2019 අගෝස්තු 22 වන දින බංගලාදේශය සහ මියන්මාරය බලා ත්‍රිකුණාමලය වරායෙන් පිටත්ව ගිය ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ශ්‍රී ලංකා නාවික නෞකා ‘සයුර’ සහ ‘නන්දිමිත්‍ර’ යන නෞකාවන් 2019 සැප්තැම්බර් 08 වන දින සාර්ථක පුහුණු සහ සුහද සංචාරයකින් පසු ත්‍රිකුණාමලය, නාවික තඨාකාංගණය වෙත සේන්දු විය.

නාවික සම්ප්‍රදායානුකූලව නාවික හමුදාව විසින් එම නෞකා ද්විත්වය පිළිගන්නා ලද අතර, එම අවස්ථාව සඳහා නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ ඇතුළු නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත ජ්‍යේෂ්ඨ නිලධාරින් පිරිසක් සහභාගිවී සිටියහ.

ඒ අනුව, නෞකාවන් අගෝස්තු 26 වන දින බංගලාදේශ, චිතගොන් වරාය වෙත සේන්දු වූ අතර, නෞකාවන් අගෝස්තු 29 වන දින දක්වා බංගලාදේශයේ රැඳී සිටින ලදී. එහිදී නෞකාවන්හි අණදෙන නිලධාරින් වන කපිතාන් නිලන්ත හේවාවිතරණ සහ කපිතාන් බුද්ධික ලියනගමගේ යන නිලධාරින් චිතගොන් නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් අබූ අෂ්රෆ් සහ දියත් විධානය භාර නිලධාරි, රියර් අද්මිරාල් මොහොමඩ් නස්මුල් හෂන් හමුවී සුහද පිලිසඳරක නිරත වූ අතර, එහිදී ද්විපාර්ශවික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගන්නා ලදී. එම අවස්ථාවන් සනිටුහන් කරනු වස් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරුණි.

තවද, බංගලාදේශ නාවික හමුදා විද්‍යාපිඨයේ නිරික්‍ෂණ චාරිකාවක නිරත විමට ද ශ්‍රී ලංකා නාවික හමුදා පුද්ගලයින් හට මෙහිදි අවස්ථාව උදා වූ අතර, එහිදී බංගලාදේශ නාවික හමුදාවේ පුහුණුවන නිලධාරින් සමඟ සුහද පැසිපන්දු ක්‍රීඩා තරඟයකට ද සහභාගී වීය. ඒ අනුව නෞකාවන් ද්විත්වය බංගලාදේ‍ශයේ සිට මියන්මාරය දක්වා යාත්‍රා කිරීමේදී බංගලා‍දේශ නාවික හමුදාව සමඟ ඒකාබද්ධ නාවික අභ්‍යාසයකට ද එක් වීය.

සැප්තැම්බර් මස 01 වන දින නෞකාවන් මියන්මාරයේ, රැංගුන් වරායට සේන්දු වූ අතර, නෞකාවන් සැප්තැම්බර් 04 වන දින දක්වා මියන්මාරයේ රැඳි සිටින ලදී. එහිදී නෞකාවන්හි අණදෙන නිලධාරින් අයියර් වඩ්ඩි නාවික කලාපයේ ආඥාපති, කොමදෝරු හෙටිනී වින් හමුවී සුහද පිළිසඳරක නිරත වන ලද අතර, එම අවස්ථාවන් සනිටුහන් කරනු වස් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරුණි. අනතුරුව නෞකාවන්හි කාර්ය මණ්ඩලය මියන්මාර් පළමු නාවික බලඇණියේ නාවික පුහුණු විධානයේ නිරික්‍ෂණ චාරිකාවක නිරත වූ අතර, එහිදී දෙරටේ නාවික හමුදාවන් අතර අ‍න්නෝන්‍ය සහයෝගීතාවය වර්ධනය කර ගැනීම අරමුණු කර ගනිමින් මියන්මාර් නාවික හමුදාව සංවිධානය කර තිබූ සුහද වොලිබෝල් තරඟයකට ද සහභාගි වීය.

ඒ අනුව, සාර්ථක පුහුණු සහ සුහද සංචාරය නිම කරමින් නෞකාවන් ද්විත්වය සැප්තැම්බර් 04 වන දින මියන්මාරයේ, රැංගුන් වරායෙන් මෙරට බලා යාත්‍රා කරන ලදී. මෙවැනි පුහුණු සහ සුහද සංචාර මඟින් කලාපීය නාවික හමුදාවන්ගේ වෘත්තිය දැනුම සහ අත්දැකීම් හුවමාරු කර ගැනීමට මෙන්ම කලාපීය සහයෝගිතාවය වර්ධනය කිරීමටත් මහඟු පිටිවහලක් වේ.