ජාත්‍යන්තර වෙරළ පිරිසිදු කිරීමේ දිනයට සමගාමීව වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් නාවික හමුදාව ගාලු මුවදොරදී සිදුකරයි.

නාවික හමුදාව විසින් ජාත්‍යන්තර වෙරළ පිරිසිදු කිරිමේ දිනයට සමගාමීව අද (සැප්තැම්බර් 02) ගාලු මුවදොර පිටිය අවට වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ආරම්භ කරන ලදි.

ඒ අනුව, බටහිර නාවික විධානය විසින් 2019 සැප්තැම්බර් 02 වන දින සිට 08 වන දින දක්වා ජාත්‍යන්තර වෙරළ පිරිසිදු කිරීමේ දිනයට සමගාමීව ගාලු මුවදොර පිටිය අවට වෙරළ තීරය කේන්ද්‍ර කර ගනිමින් මෙම වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන ආරම්භ කරන ලදි.

මෙහි සමාරම්භක දිනය වන අද දිනයේ බටහිර නාවික විධානයේ නාවික පුද්ගලයන් විසින් වෙරළ තීරයේ තිබු අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ඉවත් කිරීමට කටයුතු කළ අතර, මෙම වැඩසටහන ගාලු මුවදොර මුහුදු තීරය කේන්ද්‍ර කර ගනිමින් තවත් දින 06 ක් ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත. විශේෂයෙන් කොළඹ නගරයට පිවිසෙන දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගෙන ඇති ගාලු මුවදොර වෙරළ තීරය පිරිසිදු, මනස්කාන්ත වෙරළ තීරයක් ලෙස පවත්වාගෙන යෑම මෙම වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන තුලින් නාවික හමුදාව අපේක්ෂා කෙරේ.

තවද නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ “නීල හරිත” පාරසරික සංකල්පය යටතේ මෙවැනි පරිසර හිතකාමි වැඩසටහන් රැසක් සෑම නාවික විධානයකම නාවික හමුදාව විසින් සිදුකරණු ලබයි.