නාවික පවුල්වල දූදරුවන් හට ශිෂ්‍යත්ව ඇගයීම් ප්‍රදානය කෙරේ

2018 වසරේ පැවති අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට විශිෂ්ඨ සාමාර්ථ 9 ක් ලබා ගනිමින් ඉතා විශිෂ්ඨ ලෙස සමත් වූ නාවික පුද්ගලයින්ගේ දූ දරුවන් වෙත ශිෂ්‍යත්ව ඇගයීම් ප්‍රධානය කිරීම නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් අද (අගොස්තු 09) ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී සිදු කෙරුණි. නාවික පුද්ගලයින්ගේ දූ දරුවන්ගේ ඉදිරි උසස් අධ්‍යාපන කටයුතු සාර්ථකව කරගෙනයාම සඳහා කෙරෙන දිරිගැන්විමක් වශයෙන්, නාවික හමුදා සුභසාධක අංශය මඟින් මෙකී ශිෂ්‍යත්ව වැඩසටහන ආරම්භ කරන ලදී.

මෙහිදී පැමිණ සිටි පිරිස ඇමතූ නාවික හමුදාධිපතිතුමන්, අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉතා උසස් අයුරින් සමත්වූ දූ දරුවන් වෙත නාවික හමුදාව වෙනුවෙන් සිය ප්‍රසාදය පළකර සිටි අතර, තම දැනුම, ආකල්ප, කුසලතා සහ යහපත් ගුණධර්ම වඩා වර්ධනය කර ගනිමින්, මේ වන විට රටේ පාසැල් පද්ධතිය තුළටත් ව්‍යාප්තවී ඇති මත් රකුසාට හසු නොවී තම අනාගතය සාර්ථක කර ගැනීම උදෙසා උපරිමයෙන් වෙර දරන ලෙසත් තවත් වසර දෙකකින් එළඹෙන උසස් පෙළ විභාගයට ද පෙනී සිට එමඟින් ද ඉහළින්ම සමත්වී සරසවි වරම් ලැබීමට හැකියාව ලැබේවායි ද ප්‍රාර්ථනය කළ අතර, මෙම වසරේ සිට සරසවි වරම් ලබන සිසුන් හටද ශිෂ්‍යත්ව ප්‍රධානයක් සිදු කිරීමටද අදහස් කර සිටින බවද වැඩි දුරටත් ප්‍රකාශ කරන ලදී.

ඒ අනුව, මෙහිදී නාවික හමුදා සේවයෙහි යෙදි සිටියදී ආබාධිතව විශ්‍රාමිකව සිටින නාවික හමුදා පුද්ගලයින්ගේ දූ දරුවන් දෙදෙනෙකු (02) සහ දැනට සේවයෙහි නිරතව සිටින නාවික පුද්ගලයින්ගේ දූ දරුවන් 17 දෙනෙකු ඇතුළුව දූ දරුවන් 19 දෙනෙකු සඳහා උසස් පෙළ විභාගයට පෙනී සිටින තෙක් 2019 අගෝස්තු මස සිට 2021 ජුලි මස දක්වා මසකට රු. 5,000.00 බැඟින් මූල්‍ය පරිත්‍යාගයන් සිදු කරනු ලබයි.

මෙම අවස්ථාව සඳහා නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් සේවා, රියර් අද්මිරාල් නිලන්ත හීනටිගල, අධ්‍යක්‍ෂ නාවික සුභසාධක කොමදෝරු සෙනරත් විජේසූරිය ඇතුළු නාවික හමුදා මූලස්ථානයට අනුයුක්ත ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද ශිෂ්‍යත්වලාභී දූ දරුවන්ගේ දෙමාපියන් ද සහභාගී වී සිටියහ.