රූමස්සල මුහුදු තීර‍යේ අතුරුදහන් වූ තරුණයින්ගේ එක් මෘත දේහයක් ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදා සහාය

ගාල්ල, රූමස්සල මුහුදු තීරයේදී මුහුදු රල පහරට ගසාගෙන ගොස් අතුරුදහන් වූ තරුණයින්ගෙන් එක් පුද්ගලයෙකුගේ (01) මෘත දේහයක් ‍අද (ජූලි 18) ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාව සිය දායකත්වය ලබා දෙන ලදී.

රූමස්සල මුහුදු තීරයේදී ඡායාරූප ලබා ගැනීමට ගිය තරුණයින් දෙදෙනෙකු (02) මුහුදු රල පහරට ගසාගෙන ගොස් අතුරුදන් වී ඇති බවට හබරාදුව, පොලිසිය විසින් නාවික හමුදාවට කල දැනුම් දීමකට අනුව නාවික හමුදාව දකුණු නාවික විධානය‍ට අනුයුක්ත කිමිදුම් කණ්ඩායමක් එම ස්ථානය වෙත පිටත් කර යැවීමට කටයුතු කරන ලද අතර, ඒ අනුව පසුගිය දින කිහිපය පුරාම එම තරුණයින් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කරන ලදී.

ඒ අනුව, අද උදෑසන රූමස්සල මුහුදේ පාවෙමින් තිබියදි එක් තරුණයෙකුගේ මෘත දේහයක් සොයා ගැනීමට නාවික හමුදාවට හැකි වූ අතර, එම මෘත දේහය නාවික පුද්ගලයින් විසින් ගොඩබිම වෙත රැගෙන ඒමට කටයුතු කරන ලදී. මෘත දේහය පිළිබඳ වැඩිදුර විමර්ෂන කටයුතු සඳහා හබරාදුව, පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.