ප්‍රවාහන සහායක ජීඑම්එන්ජී ජයරත්න හට ත්‍රි‍රෝද රථයක් පරිත්‍යාග කෙරේ

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ උපදෙස් මත නාවික හමුදා සේවයේ නියුතු ප්‍රවාහන සහායක ජීඑම්එන්ජී ජයරත්න නාවිකයාගේ රෝගී දරු‍වා වෛද්‍ය සායන වෙත රැගෙන යාමට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සලසා ගැනීම සඳහා ත්‍රිරෝද රථයක් ප්‍රදානය කෙරුණි.

නාවික හමුදා සේවයේ නියුතු ප්‍රවාහන සහායක ජීඑම්එන්ජී ජයරත්න නාවිකයාගේ දරුවා රෝගී තත්වයක් හේතුවෙන් නිරන්තරයෙන් වෛද්‍ය සායන සඳහා යොමු කිරීමට සිදුවන බවත්, ඒ සඳහා ප්‍රවාහන පහසුකම් ලබා ගැනීමේදී විශාල මුදලක් වැය වන බවත්, එම නාවිකයා විසින් නාවික හමුදාව දැනුවත් කර ඇත. ඒ අනුව, නාවික හමුදාධිපතිතුමාගේ උපදෙස් මත නාවික හමුදා සුභසාධක අරමුදල මඟින් එම දරු‍වා වෛද්‍ය සායන වෙත රැගෙන යාමට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සලසා ගැනීම සඳහා මෙම ත්‍රිරෝද රථය ප්‍රදානය කරන ලදී.

ඒ අනුව, ප්‍රවාහන සහායක ජීඑම්එන්ජී ජයරත්න නාවිකයා වෙත ත්‍රිරෝද රථය නිල වශයෙන් භාර දිම නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් සේවා, රියර් අද්මිරාල් නිලන්ත හීනටිගල ගේ ප්‍රදානත්වයෙන් 2019 ජූලි මස 08 වන දින නාවික හමුදා මූලස්ථානයේදී පැවැත්විණි. එම අවස්ථාව සඳහා අධ්‍යක්‍ෂ නාවික සුභසාධක, කොමදෝරු සෙනරත් වි‍ජේසූරිය ඇතුළු නාවික නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ. මෙම මහඟු කර්තව්‍ය ඉටු කිරීම සම්බන්ධයෙන් ඔහු විසින් නාවික හමුදාධිපතිතුමා ඇතුළු සමස්ථ නාවික හමුදාවට සිය හෘදයංගම ස්තුතිය පුද කිරීමට ද කටයුතු කරන ලදී.