මත් ද්‍රව්‍ය මැඩලීමේ නාවික හමුදා තවත් මෙහෙයුමක්

නාවික හමුදා පුද්ගලයින් සහ පුත්තලම, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අනුයුක්ත නිලධාරින් එක්ව 2019 ජූලි 16 වන දින පුත්තලම ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී මදන මෝදක සමඟ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.

ඒ අනුව, වයඹ නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් සහ පුත්තලම, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අනුයුක්ත නිලධාරින් එක්ව පුත්තලම ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී පාර්සල් 272 ක තිබී මදන මෝදක 6800 ක් සමඟ පුද්ගලයෙකු මෙලෙස නාවික හමුදා බාරයට ගෙන ඇත. සිදු කළ වැඩිදුර විමර්ශනයේදී ඔහු සතුව තිබී නීති විරෝධී දුම්වැටි 80 ක් ද සොයා ගැනීමට සමත්ව ඇති අතර, මෙම මත්ද්‍රව්‍ය තොගය මෙම පුද්ගලයාගේ වෙළඳසැලෙහි සහ නිවසේ සඟවා තිබියදී මෙලෙස සොයා ගෙන ඇත.

නාවික හමුදා බාරයට පත් පුද්ගලයා වයස අවුරුදු 61 වන වියෙහි පසුවන පුත්තලම, පාලවිය ප්‍රදේශයෙහි පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇති අතර, එම පුද්ගලයා සහ මත්ද්‍රව්‍ය තොගය ඉදිරි විමර්ෂණ කටයුතු සඳහා පුත්තලම, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දීමට කටයුතු කරන ලදී.

මතින් තොර රටක් ගොඩනැගීමේ අරමුණින් අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විසින් පත් කර ඇති ඒකාබද්ධ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන සමඟ අත්වැල් බැද ගනිමින් වත්මන් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ උපදෙස් මත නාවික හමුදාව නීති විරෝධී මත් ද්‍රව්‍ය වැටලීමේ ජාතික මෙහෙවර ඉටු කරමින් සිටියි.