නීති විරෝධි ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් සිව්දෙනෙකු (04) නාවික හමුදා බාරයට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (ජූලි 15) අළුයම මුලතිව්, කොක්කුතුඩුවායි ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් සිව්දෙනෙකු (04) අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් කොක්කුතුඩුවායි ප්‍රදේශයේ සිදු කළ සෝදිසි‍ මෙහෙයුමක් අතරතුරදි නීති විරෝධි දැල් භාවිතා කර මසුන් ඇල්ලීම හේතුවෙන් මෙම පුද්ගලයින් මෙලෙස නාවික හමුදා බාරයට ගෙන ඇත. එහිදී, ධීවර කටයුතු සඳහා යොදා ගත් ඩිංගි යාත්‍රාවක්, පිටත දහන යන්ත්‍රයක් සහ අඩි 510 ක් දිගැති තහනම් දැලක් නාවික හමුදා භාරයට ගෙන ඇති අතර, අත්අඩංගුවට පත් පුද්ගලයින් වයස අවුරුදු 28, 30 සහ 44 වන වියෙහි පසුවන පුල්මුඩේ ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයින්, ධීවර යාත්‍රාව, පිටත දහන යන්ත්‍රය, තහනම් දැල සහ අනෙකුත් ධීවර ආම්පන්න මුලතිව්, සහකාර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාලය වෙත භාරදිමට කටයුතු කෙරුණි. තවද, නීති වි‍රෝධී පන්න ක්‍රම භාවිතා කර මසුන් ඇල්ලීම හේතුවෙන් ශ්‍රී ලංකාව වටා ඇති සාගර කලාපයේ මත්ස්‍ය සම්පත මෙන්ම සාගර සම්පත විනාශවිමේ තර්ජනයට ලක් වන අතර, එබැවින් නාවික හමුදාව මෙහෙයුම් ක්‍රියාත්මක කර මෙවැනි නීති විරෝධී ලෙස මසුන් අල්ලන පුද්ගලයින් නීතියේ රැහැනට හසුකර දීමට නිරන්තරයෙන් කටයුතු කරමින් සිටි.