මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදා පුද්ගලයින් සහ පොලිසියට අනුයුක්ත නිලධාරින් එක්ව 2019 ජූලි 14 වන දින යාපනය, පණ්ඩතිරිප්පු ප්‍රදේශ‍යේ සිදු කළ වැටලිමකදි කේරළ ගංජා කිලෝග්‍රෑම් 09.590 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා බාරයට ගෙන ඇත.

ඒ අනුව, උතුරු නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් සහ ඉල්ලවාලෙයි, පොලිසියට අනුයුක්ත නිලධාරින් එක්ව පණ්ඩතිරිප්පු ප්‍රදේශයේ සිදු කළ වැටලිමකදි නිවසක් තුල තිබූ මෙම කේරළ ගංජා තොගය සමඟ එහි සිටි පුද්ගලයින් මෙලෙස නාවික හමුදා බාරයට ගෙන ඇති අතර, මෙම පුද්ගලයින් ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බව වැඩිදුර විමර්ශනයේදී කරුණු අනාවරණය කරගෙන ඇත.

නාවික හමුදා බාරයට පත් පුද්ගලයින් වයස අවුරුදු 45 ක් සහ 63 ක් වන යාපනය, පණ්ඩතිරිප්පු සහ මාදගල් ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් පුද්ගලයින් සහ කේරළ ගංජා තොගය සම්බන්ධයෙන් ඉදිරි පරීක්‍ෂණ කටයුතු ඉල්ලවාලෙයි, පොලිසිය විසින් සිදුකරනු ලබයි.

තවද, 2019 ජුලි 10 වන දින යාපනය, මාදගල් ප්‍රදේශයේදී ද මෙවැනිම ආකාරයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරනු ලබන නිවසක් වැටලිමට නාවික හමුදාව සමත් වූ අතර, එහිදී ජාවාරම්වල නිරත වූ පුද්ගලයින් සිව්දෙනෙකු නාවික හමුදාව නීතියේ රැහැනට හසුකර දීමට සමත්වන ලදී. එමෙන්ම නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ උපදෙස් මත මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීම උදෙසා නාවික හමුදාව සිය සක්‍රිය දායකත්වය ලබා දෙමින් නිරන්තර මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි.