ජාත්‍යන්තර නෞකා හා වරාය පහසුකම් ආරක්ෂාව ක්‍රියාත්මක කිරීම් පිළිබඳව සාකච්ජාවක් ගාල්ල සහ හම්බන්‍තොට ප්‍රදේශයන්හිදී

ජාත්‍යන්තර නෞකා හා වරාය පහසුකම් ආරක්ෂාව පිළිබඳව බහු පාර්ශවීය සාකච්ජාවක් 2019 ජුලි 11 සහ 12 යන දෙදින ගාල්ල සහ හම්බන්තොට ප්‍රදේශයන්හිදී පැවැත්වෙන ලදි.

ඒ අනුව, ගාල්ල වරායේ ජාත්‍යන්තර නෞකා හා වරාය පහසුකම් ආරක්ෂාව පිළිබඳව සාකච්ජාව දකුණු නාවික විධාන මූලස්ථානයේදී පැවැති අතර, හම්බන්තොට වරාය සම්බන්ධයෙන් සාකච්ජාව එම වරාය පරිශ්‍රයේදී පැවැත්විණි.

දකුණු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් කස්සප පෝල් ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ජාවන් සඳහා වරායන් ආශ්‍රිතව ක්‍රියාකාරම්වල නියැලෙන සියලුම සංවිධාන, සමාගම්වල නියෝජිතවරුන් සහ වෙළඳ නෞකා සේවා සැපයුම් නියෝජිතයින් සහභාගිවී සිටියහ. එහිදී ජාත්‍යන්තර නෞකා හා වරාය පහසුකම් ආරක්ෂාව ක්‍රියාවට නැංවීම පිළිබඳව අවධානය යොමු කිරිම සඳහා නාවික හමුදාවේ කාර්යභාරය සහ එක් එක් පාර්ශවකරුවන් විසින් පවත්වා ගත යුතු ප්‍රමිතීන් පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ජා කරන ලදී.

එමෙන්ම, වරාය පහසුකම් සපයන්නන්ගේ ආරක්ෂක තත්වය පිළිබඳ සමික්ෂණ වාර්ථාවේ පෙන්වා දී තිබූ දුර්වලතාද පැහැදිලි කර ඒ සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා මෙන් උපදෙස් ලබා දෙන ලද අතර, මෑතකදී සිදුකල වරාය ආරක්ෂක ක්‍රියාකාරකම් පිළිබඳ අභ්‍යාසයන්හි වැඩි දියුණු කර ගත යුතු කරුණු පිළිබඳව ද එහිදී සාකච්ජා කරන ලදී.

මෙම අවස්ථාව සඳහා ගාල්ල සහ හම්බන්තොට වරායන්හි වරාය පහසුකම් හා ආරක්ෂක නිලධාරීන් (PFSO) වන පිළිවෙලින් කොමදෝරු අරුණ ධනපාල සහ කොමදෝරු අශෝක විජේසිරිවර්ධන ඇතුළු නිලධාරින් පිරිසක් සහභාගි විය.


ගාල්ල වරායේ ජාත්‍යන්තර නෞකා හා වරාය පහසුකම් ආරක්ෂාව පිළිබඳව සාකච්ජාව


හම්බන්තොට වරායේ ජාත්‍යන්තර නෞකා හා වරාය පහසුකම් ආරක්ෂාව පිළිබඳව සාකච්ජාව