ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය නිමිත්තෙන් දකුණු නාවික විධානයේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරේ

අතිගරු ජනාධිපති, මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විසින් 2019 ජුනි මස 23 වන දින සිට ජුලි 01 වන දින දක්වා ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියක් ප්‍රකාශයට පත් කළ අතර, එයට සමගාමීව දකුණු නාවික විධානය තුල වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන ලදි.

ඒ අනුව, පාසල් දරු දැරියන් මතට ඇබ්බැහි වීම වලක්වා ගැනීම සඳහා ජනාධිපති මත්ද්‍රව්‍ය නිවාරණ කාර්ය සාධන බලකාය සහ නාවික හමුදා මනෝ වෛද්‍ය ඒකකයේ උපදේශකයින් එක්ව දකුණු නාවික විධාන බල ප්‍රදේශයට අයත් පාසල් සිසුන් 2000 කට වැඩි පිරිසක් ආවරණය කරගනිමින් මනෝ උපදේශන වැඩමුළුවන් පැවැත්වූ අතර, එහිදී දුම්පානය සහ මත්ද්‍රව්‍ය භාවිතයේ ඇති ආදීනව පිළිබඳවත් එයින් සිදුවන සමාජීය, ආර්ථිකමය හා පෞද්ගලික පරිහානිය ඇතුළු අහිතකර බලපෑම් ආදිය පිළිබඳවත් විශේෂ අවධානයක් යොමු කරමින් සිසුන් දැනුවත් කිරීමට කටයුතු කරන ලදී.

තවද, ධර්ම දේශණා සහ වීථි නාට්‍ය මාලාවක් දකුණු නාවික විධානයේ සියලුම ආයතනයන්හි පැවැත්විමට කටයුතු කළ අතර, ඒ තුලින් පවුල්වල ඇතිවන ප්‍රධාන ගැටළු මෙන්ම අනෙකුත් භෞතික හා මූල්‍ය ගැටලු සම්බන්ධයෙන් නාවික පුද්ගලයින් දැනුවත් කරන ලදී. ‍

මෙම මත්ද්‍රව්‍ය නිවාරණ සතියට අමතරව ‍නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ උපදෙස් මත ශ්‍රී ලංකා නාවික හමුදාව මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්යය සාධන බලකාය හා එක්ව මත්ද්‍රව්‍ය භාවිතය අවම කිරීම අරමුණු කර ගනිමින් දිපව්‍යාප්තව මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් ද ක්‍රියාත්මක කර ගෙන යනු ලබයි.