“හරිත කඳවුර - එක් නාවිකයෙකු සඳහා එක් පැලයක්” යන ව්‍යාපෘතිය උතුරු නාවික විධානයේදී ආරම්භ කෙරේ

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ සංකල්පයක් වන “හරිත කඳවුර - එක් නාවිකයෙකු සඳහා එක් පැලයක්” ව්‍යාපෘතිය අද (ජුලි 01) උතුරු නාවික විධාන මූලස්ථානයේදී ආරම්භ කරන ලදී.

ඒ අනුව, උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් කපිල සමරවිර ගේ ප්‍රදානත්වයෙන් පැවැති මෙම වැඩසටහනේදී ආඥාපති විසින් සිය කාර්යාල පරිශ්‍රයේ ඉදිරිපිට පැලයක් රෝපණය කරන ලදී. එහිදී මෙම ව්‍යාපෘතියේ වැදගත්කම සම්බන්ධයෙන් අදහස් දැක්වූ ආඥාපතිතුමා ප්‍රකාශ කර සිටියේ සියලු නාවික පුද්ගලයින් පරිසර පද්ධතිය සුරක්‍ෂිත කිරීමට කටයුතු කරන ලෙසත්, නාවික පුද්ගලයින් හට තම නාවික කඳවුරු පරිශ්‍රයන් තුල පැල සිටුවා තිරසාර පරිසර පද්ධතියක් ලෙස පත් කිරීමට අවස්ථාව උදාවි ඇති බවත් ප්‍රකාශ කරන ලදී. වැඩිදුරටත් අදහස් දැක්වූ එතුමන් උතුරු ප්‍රදේශයේ පවතින පාරිසරික තත්ත්වය සහ කාලගුණික රටාව සැලකිල්ලට ගනිමින් උතුරු ප්‍රදේශයට විද්‍යාත්මකව සමාන ශාක හඳුනා ගැනීමේ වැදගත්කම පිළිබඳව ද අදහස් දක්වන ලදී.

මෙම වැඩසටහනේදී පොල් පැල 300, කොස් පැල 100, සියඹලා පැල 100, මී පැල 20 සහ කොහොඹ පැල 20 ක් අතුළුව පැල 540 ක් රෝපණය කරන ලදී. තවද, මෙම ව්‍යාපෘතිය යටතේ සෑම නාවිකයෙකුම පැලයක් සිටුවා එහි නඩත්තුව දිනපතා සිදු කිරීමට මෙන්ම නාවිකයා මාරුවී යන විට අදාල පැලයේ නඩත්තු කටයුතු ද නිසි ලෙස භාරදිම සඳහා උපදෙස් ලබා දී ඇති අතර, මෙම නව සංකල්පයේ මුලික අරමුණ වන්නේ හරිත පරිසර පද්ධතිය සංරක්ෂණය කිරීමයි.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනයේ අණදෙන නිලධාරි ඇතුළු උතුරු නාවික විධානයේ දෙපාර්තමේන්තු ප්‍රධානීන් ද සහභාගීවි සිටියහ. තවද, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා‍ ගේ දූරදර්ශී නායකත්වය යටතේ නීල හරිත සංකල්පය නාවික හමුදාව තුළ ක්‍රියාවට නැංවීම සඳහා සෑම නාවික විධානයකම මෙවැනි පරිසර හිතකාමි වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇත.