නීති විරෝධී ධීවර කටයුතු පිළිබඳව ධීවර ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහනක්

නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද නීති විරෝධී ධීවර කටයුතු පිළිබඳව ධීවර ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහනක් 2019 ජුනි මස 07 දින දකුණු නාවික විධානයට අයත් බල ප්‍රදේශය තුල ක්‍රියාත්මක කරන ලදි.

නීති විරෝධී ධීවර කටයුතු හේතුවෙන් සාගරයට මෙන්ම වෙරළ තීරයට සිදුවන අහිතකර බලපෑම් මැඩපැවැත්විම සඳහා ධීවරයින් දැනුවත් කිරීමේ වැඩසටහන් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ විශේෂ අධික්‍ෂණය යටතේ නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන අතර, එහි තවත් එක් වැඩසටහනක් දකුණු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් කස්සප පෝල් ගේ උපදෙස් මත දකුණු නාවික විධානයට අයත් බල ප්‍රදේශය තුල පැවැත්විමට කටයුතු සුදානම් කර ඇත. මෙම වැඩසටහන දෙසතියක කාලයක් පැවැත්විමට කටයුතු සුදානම් කර ඇති අතර, එහිදී ධීවර නීතිය, අණපනත් හා ගැසට් පත්‍රයන්, තහනම් ධීවර පන්න ක්‍රම, විවිධ වැරදි හා දඬුවම් මෙන්ම පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් මසුන් මැරීම සම්බන්ධ නීතිරීති පිළිබඳව ධීවර ප්‍රජාව දැනුවත් කිරීම සිදු කරනු ලබයි.

තවද, එහිදී ධීවර ප්‍රජාව නීති විරෝධීව කරනු ලබන ධීවර කටයුතු මැඩපැවත්වීමට ශ්‍රි ලංකා නාවික හමුදාව විසින් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව ද ධීවර ප්‍රජාව දැනුවත් කිරීමට අපේක්‍ෂා කරන අතර, ඒ අනුව දොඩන්දුව ලංකා ධීවර වරාය පරිශ්‍රයේ, වැලිගම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සහ ගාල්ල ධිවර වරාය යන ස්ථානයන්හි දි ධීවරයින් දැනුවත් කිරීමේ වැඩසටහන් පවත්වා ඇත.

මෙම වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා දකුණු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ‘දක්ෂිණ’ සහ ශ්‍රී ලංකා නාවික නෞකා ‘නිපුණ’ ආයතනයන්හි නාවික මහජන සම්බන්ධීකරණ නිලධාරින් මෙන්ම ප්‍රදේශයේ ධීවර පරීක්‍ෂකවරුන් දායකත්වය සපයනු ලබයි.


දොඩන්දුව ලංකා ධීවර වරාය පරිශ්‍රයේ පැවැති දැනුවත් කිරීමේ වැඩසටහන


වැලිගම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ පැවැති දැනුවත් කිරීමේ වැඩසටහන


ගාල්ල ධිවර වරාය පරිශ්‍රයේ පැවැති දැනුවත් කිරීමේ වැඩසටහන