නාවික හමුදාව රෝගී වූ ධීවරයෙකු වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන එයි

මුහුදේදී රෝගී වූ ධීවරයෙකු වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන ඒමට අද (මැයි 24) ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කරන ලදී.

ඒ අනුව මිගමුව, ධීවර වරායෙන් 2019 මැයි 20 වන දින ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ ‘සුරතලි 04’ නැමති බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයෙකු රෝගීව සිටින බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සිදු කළ දැනුම් දීමකට අනුව ක්ෂණිකව ක්‍රියාත්මක වූ නාවික හමුදාව, රෝගියා රැගෙන ඒම සඳහා බටහිර නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවක් පිටත් කර යැවීමට කටයුතු කරන ලදී. ඒ අනුව, කොළඹ ප්‍රදිපාගාරයට නාවික සැතපුම් 58 ක් පමණ වූ දුරකදි රෝගියා වේග ප්‍රහාරක යාත්‍රාව වෙත ලබා ගැනීමෙන් අනතුරුව රෝගියා හට මුලික ප්‍රථමාධාර ලබා දෙමින් නිරුපද්‍රිතව ගොඩබිම වෙත රැගෙන ඒමට කටයුතු කෙරිණි. ඒ අනුව, කොළඹ වරාය වෙත රැගෙන එනු ලැබූ රෝගියා වෛද්‍ය ප්‍රථිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත යොමු කරන ලදී.

තවද, ශ්‍රී ලංකාව වටා ඇති සාගරය ප්‍රයෝජනයට ගනු ලබන නාවික හා ධිවර ප්‍රජාවට සිදුවන ඕනෑම ආපදාවකදී සෙවිමේ සහ මුදවා ගැනීමේ මෙහෙයුම් සිදු කර ආපදාවට පත් පුද්ගලයින් මුදවා ගැනීම සඳහා නාවික හමුදාව දායක වන අතර, මෙවැනි රෝගී ධීවරයින් ප්‍රථිකාර සඳහා ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදා සහාය අවශ්‍ය වූ විට ලබා දිමට නාවික හමුදාව ඉදිරියේදීත් කටයුතු කරනු ලබයි.

a