නීති විරෝධි ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් අටදෙනෙකු (08) නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (මැයි 10) කොක්කුතුඩායි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් අටදෙනෙකු (08) අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව නැගෙනහිර නාවික විධානයට අයත් යාත්‍රාවන්ට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් අද කොක්කුතුඩායි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයක් අතරතුරදි නීති විරෝධි දැල් භාවිතා කිරීම හේතුවෙන් මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇත. එහිදී, ධීවර කටයුතු සඳහා යොදා ගත් ඩිංගි යාත්‍රා 02 ක්, පිටත දහන යන්ත්‍ර 02 ක්, නීති විරෝධී දැල් 03 ක් සහ ඇල්ලූ මසුන් කිලෝග්‍රෑම් 565 ක් නාවික හමුදා භාරයට ගෙන ඇති අතර, අත්අඩංගුවට පත් පුද්ගලයින් පුල්මුඩේ ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයන්, යාත්‍රා, පිටත දහන යන්ත්‍ර, නීති විරෝධී දැල්, අල්ලන ලද මසුන් සහ අනෙකුත් ධීවර ආම්පන්න මුලතිව්, සහකාර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාලය වෙත භාරදිමට කටයුතු කෙරුණි.