62 වන ශිෂ්‍යභට බඳවා ගැනීමට අයත් නව නිලධාරීන් හට පත්වීමේ ලිපි ප්‍රදානය කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවට බඳවා ගනු ලැබූ නව ශිෂ්‍යභට නිලධාරීන් හට පත්වීමේ ලිපි ප්‍රදානය කිරීමේ උත්සවය අද (මැයි 10) නාවික හමුදා මූලස්ථානයේදී පැවැත්විණි.

ඒ අනුව ශ්‍රී ලංකා නාවික හමුදාවේ 62 වන බදවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරීන් 53 දෙනෙකු හට පත්වීමේ ලිපි ප්‍රදානය කිරීමේ උත්සවය අද නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

ඒ අනුව, ශිෂ්‍යභට නිලධාරීන් විධායක, සැපයුම්, ඉංජිනේරු, විදුලි හා විද්‍යුත් හා නාවික මැරීන් යන අංශ සඳහා මෙසේ නාවික හමුදා සේවයට එක් විය. එහිදී අදහස් දැක්වූ නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී විසින් ප්‍රථමයෙන්ම තරුණ නිලධාරින් විසින් නාවික හමුදාවට එක් වීම සඳහා ගත් තීරණය ‍සිය ජිවිතයේ යහපත් තීරණයක් බවත්, නාවික හමුදා නිලධාරියෙකු වශයෙන් ඉදිරියේදී තම නාවික ජිවිතය සාර්ථක කර ගැනීමට අවශ්‍ය කරන දැනුම හා පලපුරුද්ද ලබා ගැනීමට නාවික හමුදාව තුලින් අවස්ථාව උදාවන බව ද ප්‍රකාශ කර සිටින ලදී. එමෙන්ම පක්‍ෂපාතිත්වය, විනය, කැපවිම, ආකල්ප සහ අවංකකම යන ගුණාංග වැඩිදියුණු කර ගනිමින් තම මාතෘභූමියට සහ නාවික හමුදාවට ඉටුවිය යුතු යුතුකම් මැනවින් ඉටු කිරීමට අදිටන් කරගත යුතු බව ප්‍රකාශ කර ඔවුන්ගේ නාවික ජීවිතය ඉදිරියට ගෙනයාමට උපදෙස් රැසක් මාණ්ඩලික ප්‍රධානී විසින් ලබා දෙන ලදී. තවද, තම මාතෘභූමියට සේවය කිරීම සඳහා සිය දරුවන් නාවික හමුදාවට භාර දීම සම්බන්ධයෙන් සමස්ථ නාවික හමුදාව වෙනුවෙන් ඔවුන්ගේ දෙමාපියන් වෙත සිය හෘදයාංගම ස්තුතිය පුද කිරීමට ද එහිදී එතුමා කටයුතු කරන ලදී.

තවද, මේ අවස්ථාව සඳහා අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙයෙහුම් රියර් අද්මිරාල් නිරාජ ආටිගල, අධ්‍යක්‍ෂ ජෙනරාල් පුද්ගල රියර් අද්මිරාල් මෙරිල් සුදර්ශන සහ අධ්‍යක්ෂ ජෙනරාල් පුහුණු, රියර් අද්මිරාල් නන්දන ජයරත්න ඇතුළු ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන් පිරිසක් මෙන්ම ශිෂ්‍යභට නිලධාරීන්ගේ දෙමාපියන් ඇතුළු ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන් රැසක් ද සහභාගි වී සිටියහ.