රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් අනුස්මරණ උත්සවයක් අම්පාර, මුවංගල රණවිරු ස්මාරකය අභියසදී

මව් බිම වෙනුවෙන් සිය ජීවිත පුජා කළ විරෝධාර රණවිරුවන් අනුස්මරණය කිරීමේ උත්සවයක් ඊයේ (මැයි 09) අම්පාර, මුවංගල ප්‍රදේශයේ පිහිටි රණවිරු ස්මාරකය අභියස දී පැවැත්විණි.

මෙම උත්සවය ගිණිකොන නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නොයෙල් කළුබෝවිල ගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර, මෙම අවස්ථාව සඳහා නියෝජ්‍ය ආඥාපතිතුමා, නාවික හමුදා ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් සහ නාවිකයින් මෙන්ම රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන්ගේ ලඟම ඥාතින් පිරිසක් ද එක් වී සිටියහ.

රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් සිහිපත් කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්වු අතර, මහා සංඝරත්නය ආගමික වතාවත් සිදු කරමින් මියගිය රණවිරුවන්ට පිං පමුණවා අබාධිත රණවිරුවන්ට ආශිර්වාද එක් කළහ. අනතුරුව, පැමිණි සිටි සියළු නාවික පුද්ගලයින් මෙන්ම රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන්ගේ ලඟම ඥාතින් රණවිරු ස්මාරකය අභියස දී රට වෙනුවෙන් දිවිපිදු විරෝධාර රණවිරුවන් සිහිපත් කරමින් පුෂ්පෝපහාර පුදකරන ලදී.

එමෙන්ම, රට වෙනුවෙන් දිවිපිදු විරෝධාර රණවිරුවන් සිහිපත් කරමින් ගරුතර මහා සංඝරත්නය විෂයෙහි අටපිරිකර පුජාවක් ද සිදු කෙරුණු අතර, රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන්ගේ ලඟම ඥාතින් වෙත සමරු තිළිණ ප්‍රදානයක් ද එහිදි සිදු කරන ලදි.