පුපුරණ ද්‍රව්‍ය යොදා ඇල්ලූ මසුන් තොගයක් නාවික හමුදා භාරයට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ (මැයි 07) ත්‍රිකුණාමලය, සූදිකුඩා ප්‍රදේශයේදී පුපුරණ ද්‍රව්‍ය යොදා ඇල්ලූ මසුන් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ සූදිකුඩා ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී පුපුරණ ද්‍රව්‍ය යොදා (ඩයිනමයිට්) ඇල්ලූ මසුන් කිලෝග්‍රෑම් 551 ක් සමඟින් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. මෙම මසුන් තොගය කැබ් රථයක් තුලට පැටවිමේදි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, අත්අඩංගුවට පත් පුද්ගලයා වයස අවුරුදු 39 ක් වන මුතුර් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයා, මසුන් තොගය සහ කැබ් රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා මුතුර්, ධීවර පරික්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.