නාවික හමුදා මූලස්ථානයේදී නැව් මුළුව සඳහා සම්ප්‍රදායික සිංහල සහ හින්දු අලුත් අවුරුදු කැම මේසයක් පිලියෙල කෙරේ

සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් නාවික හමුදා මූලස්ථානය සහ ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ නැව් මුළුව සඳහා පිළියෙල කළ සිංහල සහ හින්දු අලුත් අවුරුදු කැම සහිත තේ පැන් සංග්‍රහයක් නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම්, රියර් අද්මිරාල් නිරාජ ආටිගල ගේ ප්‍රධානත්වයෙන් අද (අප්‍රේල් 16) පවත්වන ලදී.‍

විශේෂයෙන් උත්සව සමයේ තම නිවෙස් වෙත ‍ගොස් දෙමාපියන්, දූ දරුවන්, ඥාතිහිතවතුන් සහ සමීපතයන් සමඟ සිංහල සහ හින්දු අලුත් අවුරුදු උත්සවය සැමරීමට නොහැකිව ජාතික ආරක්‍ෂාව වෙනුවෙන් කඳවුරුවල සේවයේ යෙදි සිටින නාවික පුද්ගලයින් දිරිමත් කරවීම සඳහා සෑම නාවික නෞකා හා ආයතනයකම මෙම තේ පැන් සංග්‍රහය සංවිධානය කරන අතර, නාවික හමුදා මූලස්ථානයේ සාම්ප්‍රදායික තේ මේසය සහ තේ පැන් සංග්‍රහය ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අණදෙන නිලධාරි, ‍කපිතාන් මහේෂ් ද සිල්වා ඇතුළු නැව් මුළුව විසින් සුදානම් කර තිබිණි. මෙම අවස්ථාව සඳහා නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල්වරු, නාවික හමුදා අධ්‍යක්‍ෂවරු මෙන්ම නාවික හමුදා මුලස්ථානය හා ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නාවික පුද්ගලයින් රැසක් ද සහභාගීවි සිටියහ.

එමෙන්ම සිංහල සහ හින්දු අලුත් අවුරුදු චාරිත්‍රවලට මුල්තැන දෙමින් සියළුම නාවික විධාන නියෝජනය වන පරිදි නාවික නෞකා, යාත්‍රා සහ ආයතනවල අවුරුදු උත්සව පවත්වමින් නාවික හමුදාව නැව් මුළුව වෙනුවෙන් බක්මහේ අසිරිය සැමරිමට කටයුතු කරන ලදී. එම අවුරුදු උත්සව ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්විමට නෞකා සහ ආයතනයන්හි අණදෙන නිලධාරින් ‍කටයුතු යොදා තිබූ අතර, ඒ සඳහා නාවික පුද්ගලයින් ඉතාමත්ම උද්යෝගයෙන් යුතුව සහභාගි වන ලදී.