පාකිස්තානු නාවික හමුදා මාණ්ඩලික පාඨමාලාවේ නියෝජිතයන් පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරයක

පාකිස්තානු නාවික හමුදා මාණ්ඩලික පාඨමාලාවට අනුයුක්ත නියෝජිතයින් පිරිසක් පසුගිය අප්‍රේල් 07 වන දින සිට 11 වන දින දක්වා ශ්‍රී ලංකාවේ අධ්‍යයන චාරිකාවක නිරත වන ලදී. ඒ අනුව නියෝජිත කණ්ඩායම් ප්‍රධානී, රියර් අද්මිරාල් නවීඩ් ඒ රිෂ්වී ඇතුළු නියෝජිතයින් පිරිස පසුගිය දිනවල සිය අධ්‍යයන කටයුතු සඳහා අවශ්‍ය ස්ථාන කිහිපයක සංචාරය කළ අතර, එහිදී අප්‍රේල් 08 වන දින නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරල් ජගත් රණසිංහ හමුවිය.

එමෙන්ම නියෝජිතයින් පිරිස ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මෙන්ම ශ්‍රී ලංකාවේ පාකිස්තානු මහ කොමසාරිස්, අතිගරු ෂහීඩ් අහමඩ් හෂ්මට් මහතා හමුවිමට කටයුතු කළ අතර, එහිදී නියෝජිතයින් පිරිස විසින් සිය අධ්‍යයන කටයුතු පිළිබඳව ඔවුන් දැනුවත් කරන ලදී. අනතුරුව බටලන්ද, ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ සංචාරයක නිරත වූ නියෝජිතයින් පිරිස එහිදි සිය අධ්‍යන කටයුතු සඳහා අවශ්‍ය දැනුම ලබා ගැනීමට කටයුතු කරන ලදී.

තවද, අප්‍රේල් 09 වන දින යුද්ධ හමුදාධිපති, ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහ ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී, එයාර් වයිස් මාෂල් සුමංගල ඩයස් හමු වූ අතර, එහිදී ඔවුන් අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සුහද කථාබහක නිරත විය. එම අවස්ථාවන් සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරුණි. අනතුරුව නියෝජිතයින් පිරිස කොළඹ පිහිටි ලක්‍ෂ්මන් කදිරගාමර් ජාත්‍යන්තර සබඳතා හා උපාය මාර්ගික අධ්‍යයන ආයතනයේ සංචාරයක නිරත වූ අතර, එහිදි එම ආයතනය කාර්ය මණ්ඩලය විසින් එම ආයතන කාර්ය භාර්ය පිළිබඳව නියෝජිතයන් දැනුවත් කිරීම සඳහා සවිස්තරාත්මක දේශණයක් ද ඉදිරිපත් කරන ලදී.

අවසන් වශයෙන් පසුගිය අප්‍රේල් 10 සහ 11 වන දින කණ්ඩායම් ප්‍රධානී, රියර් අද්මිරාල් නවීඩ් ඒ රිෂ්වී ඇතුළු නියෝජිතයින් පිරිස දකුණු නාවික විධානයේ සහ නැගෙනහිර නාවික විධානයේ සංචාරයක නිරත වූ අතර, එහිදි එම විධානයන්හි මෙහෙයුම් කාර්ය භාරය පිළිබඳව නියෝජිත පිරිස දැනුවත් කිරීම සඳහා ආඥාපතිවරුන් කටයුතු කරන ලදී. එම අවස්ථාවන් සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරුණි.

මෙම අවස්ථාවන් සඳහා ශ්‍රී ලංකාවේ පාකිස්තානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක, කර්නල් සජාඩ් අලි ද සහභාගී විය. ඒ අනුව සිය සාර්ථක අධ්‍යයන චාරිකාව නිමා කරමින් රියර් අද්මිරාල් නවීඩ් ඒ රිෂ්වී ඇතුළු නියෝජිතයින් පිරිස ඊයේ (අප්‍රේල් 11) දිවයිනෙන් පිටත්ව යන ලදි.