සිංහල හා දමිළ අලුත් අවුරුද්ද නාවික හමුදාව උත්කර්ෂවත් අයුරින් සමරයි

සිංහල හා දමිළ අලුත් අවුරුද්ද සැමරීම වෙනුවෙන් නාවික හමුදාව වාර්ෂිකව පවත්වනු ලබන අවුරුදු උත්සවය සහ අවුරුදු පොළ මෙවරත් ඊයේ (අප්‍රේල් 10) වැලිසර නාවික කඳවුරු පරිශ්‍රයේදී අති උත්කර්ශවත් අයුරින් පැවැත්විණි.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා සහ සේවා වනිතා ඒකකයේ සභාපතිනි, ජේකේ අරුන්දති උදිතමාලා ජයනෙත්ති මැතිණිය සහභාගී විය. ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් ජාතික ධජය එසවිමෙන් අනතුරුව ජාතික ගීය වාදනය කරනු ලැබු අතර, ඉන් අනතුරුව නාවික හමුදා අවුරුදු උත්සවය ආරම්භ කරන ලදී.

මෙම අවස්ථාව සඳහා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් ජගත් රණසිංහ, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල්වරුවන්, සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන්, බටහිර නාවික විධානයට සහ නාවික හමුදා මුලස්ථානයට අනුයුක්ත ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරීන්, නාවිකයන්, නාවික සිවිල් සේවක මහත්ම මහත්මින් මෙන්ම ඔවුන්ගේ පවුල් වල සාමාජික සාමාජිකාවන් විශාල පිරිසක් එක් වී සිටියහ.

මෙම බක්මහ උළෙල ගම හරහා දිවීම, රබන් ගැසිම, කඹ ඇදිම, ග්‍රීස් ගසේ නැගිම, කොට්ටා පොර, අලියාට ඇස තැබීම, බනිස් කෑමේ තරගය, අවුරුදු කුමරිය තේරිමේ තරගය, විකට ඇදුම් තරගය ආදී සම්ප්‍රදායික ජන ක්‍රීඩා හා විනෝදාත්මක ක්‍රීඩා රැසකින් සමන්විත වු අතර ඒ සඳහා නාවික හමුදා සාමාජිකයින් මෙන්ම පවුල්වල සාමාජිකයින් සහ නාවික හමුදා දු දරුවන් ඉතා උද්යෝගයකින් යුතුව සහභාගිවන ලදී. තවද, නාවික හමුදා සාමාජිකයින් විසින් ආකර්ෂණිය ගැමි ගම්මානයක් ක්‍රීඩාංගණය තුල සකස් කර තිබිණි.

මෙම අවුරුදු උත්සවයට සමාගාමිව නාවික හමුදා සේවා වනිතා ඒකකය විසින් පවත්වනු ලබන අවුරුදු පොළක් ද පැවැති අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තන් වශයෙන් සේවා වනිතා ඒකකයේ හිටපු සභාපතිනි සන්ධ්‍ය රණසිංහ මැතිණිය සහ හිටපු නාවික හමුදාධිපති, අද්මිරාල් සිරිමෙවන් රණසිංහ සහභාගී විය. සම්ප්‍රදායානුකූලව පොල්තෙල් පහන දැල්වීමේ චාරිත්‍රයෙන් අනතුරුව ප්‍රධාන ආරාධිත අමුත්තන්ගේ සුරතින් අවුරුදු පොළ විවෘත කිරීම සිදු කරන ලදී.ඉන් පසු පරිභෝගිකයන් හට භාණ්ඩ ලබා ගැනීමේ අවස්ථාව උදා වුන අතර, අවුරුදු පොළෙහි වෙළඳ කුටි තුල වියළි ආහාර ද්‍රව්‍ය, රෙදි පිළි, එළවළු, පළතුරු, පැල වර්ග සහ අනෙකුත් ගේ දොර අවශ්‍ය ද්‍රව්‍ය සහනදායී මිලකට අලෙවි කරන ලදී.

නාවික හමුදා සිංහල හා දමිළ අලුත් අවුරුදු උත්සවය නිමාව සනිටුහන් කරමින් ප්‍රවීණ ගී තරු පිරිවරා වර්ණවත් සංගීත ප්‍රසංගයක් ද පවත්වන ලදී.