235 වන බඳවා ගැනීමේ දෙවන අධියරට අයත් ආධුනික නාවිකයින් 357 දෙනෙකු විසිර යති

ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 235 වන බඳවා ගැනීමේ දෙවන අධියරට අයත් ආධුනික නාවිකයන් 357 දෙනෙකු සිය මුලික පුහුණුව නිමකොට ඊයේ (අප්‍රේල් 10) විසිර යන ලදී. පුනෑව, ශ්‍රී ලංකා නාවික නෞකා ශික්‍ෂා ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේ පැවති එම විසිරයාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස උතුරු මැද නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් මුදිත ගමගේ සහභාගී විය.

ගරුතර මහා සංඝරත්නය ප්‍රමුඛ අන්‍යාගමික පූජකවරුන්, ශ්‍රී ලංකා නාවික නෞකා ශික්‍ෂා ආයතනයේ ආඥාපති, කපිතාන් (සංඥා) ජානක නිස්සංක ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ සහ උතුරු මැද නාවික විධානයේ ජ්‍යේෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරීන් මෙන්ම ශ්‍රී ලංකා නාවික‍ නෞකා ශික්‍ෂා ආයතනයට අනුයුක්ත නාවිකයින් රැසක් ද, ප්‍රදේශයේ යුද්ධ සහ ගුවන් හමුදාවේ මෙන්ම පොලිසියේ උසස් නිළධාරීන් ඇතුළු ප්‍රදේශයේ රාජ්‍ය සහ පෞද්ගලික අංශයට අනුයුක්ත නිලධාරින් සහ විසිර ගිය නාවිකයින්ගේ දෙමාපියන්ද සහභාගීවි සිටියහ.

තවද, මූලික පුහුණුව තුළ විශේෂ කුසලතා දැක්වූ නාවිකයින් ඇගයීමට ලක්කරනු වස් කුසලාන ප්‍රධානයක් ද සිදු කෙරුණු අතර, එහිදී 235 වන බඳවා ගැනීමේ දෙවන අධියරට අයත් දක්‍ෂතම ආධුනික නාවිකයාට හිමි කුසලානය සහ සියළුම විෂයන්ගෙන් වැඩිම ලකුණු ලබාගත් නාවිකයාට හිමි කුසලානය පීඑච්එම්බී වීරසූරිය හිමිකර ගත් අතර, ආධුනික කාන්තා නාවික එම්ඒසීඑම් ධර්මරත්න කාන්තා නාවිකයා හොඳම ඉලක්කකාරියට හිමි කුසලානයට හිමිකම් කීවේය. මීට අමතරව ආධුනික නාවික එස්ටීසී ජයලත් සහ ආධුනික කාන්තා නාවික ආර්එච්එම්ටීඒ ගුණවර්ධන පිලිවෙලින් දක්‍ෂතම ක්‍රීඩකයාට සහ ක්‍රීඩිකාවට හිමි කුසලානයන් දිනාගන්නා ලද අතර, දක්‍ෂතම අංශයට හිමිවන කුසලානය ‘අභීත’ අංශය හිමි කර ගැනීමට සමත්වන ලදි.

අනතුරුව ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ ආඥාපතිතුමා විසින්, මාතෘ භූමිය ආරක්‍ෂා කර ගැනීමේ යුග මෙහෙවරට උරදීම සඳහා තම දුවා දරුවන් නාවික හමුදාවට දායාද කළ දෙමාපියන්ට මෙන්ම නාවික හමුදාවට උචිත ලෙස නිසි නිපුණත්වයකින් හා දැනු‍මෙන් පිරිපුන් නාවිකයින් බිහි කිරීම සදහා කැපවී ක්‍රියාකල ශ්‍රීලංනානෞ ශික්‍ෂා ආයතනයේ ආඥාපති ඇතුලු උපදේශක මණ්ඩලයට සහ කාර්ය මණ්ඩලයට සිය ප්‍රණාමය පුද කර සිටින ලදි.

තවද, 235 වන බඳවා ගැනීමට අයත් නාවිකයින්ගේ ආකර්ශණිය සරඹ සංදර්ශණයකින් සහ නාවික හමුදා සංස්කෘතික කණ්ඩායමේ සංස්කෘතික සංදර්ශණයකින්ද මෙම විසිර යාමේ පෙළපාලිය සමන්විත විය.

එමෙන්ම පසුගිය අප්‍රේල් 05 වන දින 235 වන බඳවා ගැනීමේ පළමු අධියරට අයත් ආධුනික නාවිකයන් 188 දෙනෙකු සිය මුලික පුහුණුව නිමකොට සාම්පුර්, ශ්‍රී ලංකා නාවික නෞකා විදුර ආයතනයේදී විසිර යන ලද අතර, ඒ අනුව, 235 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයින් 545 දෙනෙකු සිය මුලික පුහුණුව නිමකොට නාවික සේවයට එක්වි ඇත.